Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

බහින් බස් වීමෙන් වළකින්නේ කොහොමද?

ප්‍රශ්නය

ඔයා සැමියා එක්ක හරි බිරිඳ එක්ක හරි කතා කරද්දී ඒ කතාව නිතරම ඉවර වෙන්නේ වාදෙකින්ද? වචනයක් එහෙ මෙහෙ වුණොත් කොයිවෙලේ පුපුරයිද කියලා ඔයාට භයද?

ඔයාලා දෙන්නා අතර තියෙන්නෙත් මේ ප්‍රශ්නෙද? ඒකට විසඳුමක් තියෙනවා. හැබැයි ඊට කලින් ඔය දෙන්නා වාද කරන්නේ ඇයි කියලා හොයලා බලමු.

ඇයි එහෙම වෙන්නේ?

වරදවා වටහාගැනීම් නිසා.

ජිලියන් * කියන බිරිඳ තමාගෙන් වෙන වරදක් ගැන කිව්වේ මෙහෙමයි. “සමහර වෙලාවට කියන්න ඕන දේ මගෙ කටෙන් පිටවෙන්නේ කියන්න හිතං හිටපු විදිහට නෙමෙයි. තවත් වෙලාවට ‘ඇයි අනේ මං ඔයාට කිව්වේ’ කියලා කිව්වත් මං ඒ කාරණේ ඇත්තටම මහත්තයට කියලා නෑ.”

අදහස් වෙනස් නිසා.

දෙන්නාට දෙන්නා කොච්චර හොඳට ගැළපුණත් මේ ලෝකේ එක වගේ දෙන්නෙක් නැති නිසා සමහර දේවල් ගැන දෙන්නා හිතන්නේ වෙනස්ම විදිහට. ඒ වෙනස පවුල් ජීවිතයට විවිධත්වයක් එකතු කළත් සමහරුන්ට ඒක පීඩනයක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් යුවළයන් ඒ වෙනස පීඩනයක් කරගන්නවා.

නරක ආදර්ශ නිසා.

“මගේ අම්මයි තාත්තයි හුඟක් රණ්ඩු කරනවා. දෙන්නට දෙන්නා කැත විදිහට බැණගන්නවා. ඒ නිසා මම බැන්දට පස්සේ මාත් මගේ මහත්තයට සැලකුවේ ඒ විදිහටමයි. එයාට ගරු කරන්න මං ඉගෙනගෙන තිබුන්නෑ.” එහෙම කිව්වෙ රේචල්.

හිතේ තියෙන්නෙ වෙන දෙයක් නිසා.

යුවළක් මොකක් හරි දෙයක් ගැන වාද කළාට, වාදෙට ඇත්ත හේතුව වෙනත් දෙයක් වෙන්න පුළුවන්. උදාහරණෙකට සැමියා බිරිඳට මෙහෙම කියනවා. “හැමදාම ඔයා පරක්කුයි.” ඇත්තටම ඔහු එහෙම කියන්නේ බිරිඳ එයා කියන දේවල් ගානකට ගන්නෑ කියලා එයාට හිතෙන නිසා මිසක් බිරිඳගේ පරක්කුව නිසාම නෙමෙයි.

බහින් බස් වීමට හේතුව මොකක් වුණත් කොයිවෙලෙත් වාද කරන එක සෞඛ්‍යයට අහිතකරයි. ඒ වගේම ඒක දික්කසාදයට මුලපිරීමක් වෙන්නත් පුළුවන්. ඒ නිසා බහින් බස් වීම් වළක්වගන්න පුළුවන් විදිහ අපි බලමු.

මොනවද කරන්න පුළුවන්?

බහින් බස් වීමක් වළක්වා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි වාදයට මුල් වුණ සැබෑ හේතුව හඳුනගන්න එක. දෙන්නම සන්සුන්ව ඉන්න වෙලාවක මෙහෙම කරන්න.

1. කොළ දෙකක් අරගෙන රණ්ඩු වුණ කාරණාව වෙන වෙනම ලියන්න. උදාහරණෙකට සැමියා මෙහෙම ලියයි. “ඔයා යාළුවොත් එක්ක ගමනක් ගියා. එක කෝල් එකක්වත් දුන්නෑ.” බිරිඳ මෙහෙම ලියයි. “මං මගේ යාළුවන්ව ආශ්‍රය කරනවාට ඔයා කැමති නෑ.”

2. ඊටපස්සේ දෙන්නා ‘මේක රණ්ඩු වෙන්නත් දෙයක්ද නැත්නම් ඒක අමතක කරලා දාන්න පුළුවන්ද’ කියලා විවෘතව සාකච්ඡා කරලා බලන්න. සමහර අවස්ථාවලදී හොඳම දේ වෙන්නේ දෙන්නගෙ අදහස් වෙනස් කියන එක තේරුම් අරන් සාමය රැකගන්න එකයි.—හිතෝපදේශ 17:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

රණ්ඩු වුණේ පොඩි දේකට නම් දෙන්නටම පුළුවන් එකිනෙකාට සමාව දීලා ඒක හිතෙන් අයින් කරලා දාන්න.—කොලොස්සි 3:13, 14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හැබැයි ප්‍රශ්නෙ ටිකක් බරපතළයි කියලා එක් කෙනෙක්ට හරි හිතෙනවා නම් මේ දේ කරන්න.

3. බහින් බස් වුණ වෙලාවෙදි දෙන්නටම හැඟුණ දේ ගැන ලියන්න. උදාහරණෙකට “ඔයාට ඔයාගේ යාළුවෝ මට වඩා ලොකු වෙලා කියලා මට හිතුණා” කියලා සැමියා ලියයි. එතකොට බිරිඳ මෙහෙම ලියයි. “හැම දේම මම ඔයාට කෝල් කර කර කියන්න ඕනෙ. මට හිතුණේ ඔයා මට සලකන්නෙ පොඩි ළමයෙක්ට වගේ කියලා.”

4. දැන් කොළ දෙක මාරු කරගෙන කියවන්න. කියවද්දී බහින් බස් වුණ වෙලාවෙ දෙන්නගේ හිතේ ඇත්තටම තිබුණ දේ දැනගන්න. ඒ ගැන වාද කරනවා වෙනුවට ඒ වෙලාවේ කරන්න තිබුණ හරි දේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න.—හිතෝපදේශ 29:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

5. මේ ක්‍රමයෙන් ඉගෙනගත්තෙ මොකක්ද කියලා සාකච්ඡා කරන්න. ඉගෙනගත්ත දේ ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් බහින් බස් වීමක් වළක්වාගන්නත් එහෙම වුණොත් ඒක විසඳගන්නත් උදව් වෙන විදිය ගැන හිතලා බලන්න.

^ 7 ඡේ. නම් වෙනස් කර ඇත.