Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

මුදල් පරිහරණය

මුදල් පරිහරණය

ස්වාමිපුරුෂයා පැවසුවේ, “ලෝරා, * ඒ කියන්නේ මගේ බිරිඳ අනවශ්‍ය දේවලට සල්ලි වියදම් කරනවා. එයා කවදාවත් සල්ලි ඉතුරු කරන්නේ නැහැ. එයාට ලැබෙන හැම ශතයක්ම වියදම් කරනවා. ඒත් හදිස්සියක් වුණ වෙලාවට තමයි දැනෙන්නේ සල්ලි ඉතුරු කරන එක කොච්චර වටිනවාද කියලා.”

භාර්යාව පැවසුවේ, “මම මුදල් ඉතුරු කරන කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් ගෙදර වියදමට කොයි තරම් මුදලක් අවශ්‍යද කියලා මගේ මහත්තයාට තේරෙන්නේ නැහැ. ගෙදරට අවශ්‍ය දේවල් දැක්කම මම ඒවා ගන්නවා. ඒ නිසා හුඟක් මුදල් ඉතිරි කරන්න අමාරුයි. හැබැයි ඒ ගැන කතා කරන්න පටන්ගත්තම හැමදාම ඒක ඉවර වෙන්නේ වාදයකින්.”

මුදල් සම්බන්ධ කාරණා ගැන සන්සුන්ව කතා කිරීම බොහෝ විවාහකයන්ට අභියෝගයක්. ඒ නිසා විවාහකයන් අතර මතගැටීම් ඇති වීමට එය ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

නිසි ලෙස මුදල් පරිහරණය නොකිරීම නිසා විවාහකයන් මානසික පීඩනයටද ලක් වෙනවා. එමෙන්ම එය යෙහෝවා දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය පලුඳු වීමටත් බලපෑ හැකියි. (1 තිමෝති 6:9, 10) මුදල් පරිහරණය පිළිබඳ ගැටලු තිබෙන යුවළකට අතිකාල වැඩ කිරීමටත් සිදු විය හැකියි. එවිට දරුවන් සමඟ ගත කිරීමට තිබෙන කාලය අඩු වන අතර දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම සඳහා දරුවන්ට උපකාර කිරීමට තිබෙන අවස්ථාවද ඔවුන්ගෙන් ගිලිහී යනවා. එමෙන්ම ඔවුන්ගේ දරුවන්ද නිසි ලෙස මුදල් පරිහරණය කිරීම ගැන ඉගෙනගන්නේත් නැහැ.

“මුදල ආරක්ෂාවක්” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 7:12, නව ලොව පරිවර්තනය, NW) මුදල ඔබේ විවාහයට ආරක්ෂාවක් වීමට නම් එය නිසි ලෙස පරිහරණය කිරීමත් ඒ සම්බන්ධයෙන් ඔබ දෙදෙනා කතා කරන ආකාරයත් වැදගත්. * මුදල් පරිහරණය කරන ආකාරය ගැන වාද විවාද කරනවා වෙනුවට ඒ ගැන සන්සුන්ව කතාබහ කරනවා නම් විවාහ යුවළක් අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

විවාහකයන් අතර ප්‍රශ්න ඇති වීමට මුදල් හේතුවක් වී තිබෙන්නේ කෙසේද? නිසි ලෙස මුදල් පරිහරණය කිරීම තුළින් විවාහ බැඳීම ශක්තිමත් කරගන්නේ කෙසේද? ඒ සඳහා ගත හැකි පියවර මොනවාද?

ප්‍රශ්නවලට හේතු

මුදල් නිසා විවාහකයන් අතර ප්‍රශ්න ගැටලු ඇති වීමට බොහෝවිට බලපාන්නේ බිය සහ අවිශ්වාසයයි. උදාහරණයකට, ස්වාමිපුරුෂයා මුදල් ඉතිරි කරන්නේ නැහැ කියා භාර්යාවක් පවසනවා නම් ඉන් පෙනී යන්නේ අනාගතයේදී ණය වීමට සිදු වෙයිද යන බිය ඇය තුළ තිබෙන බවයි. එමෙන්ම භාර්යාව වියදම් කරන හැම ශතයක් ගැනම ස්වාමිපුරුෂයා අසනවා නම් එයින් පෙනී යන්නේ ඇයට මුදල් පරිහරණය කිරීමට තිබෙන හැකියාව ගැන ඔහුට විශ්වාසක් නැති බවයි.

මුදල් පරිහරණය ගැන ප්‍රශ්න ඇති වීමට බලපාන තවත් හේතුවක් නම් ඔවුන් හැදී වැඩුණු පසුබිමයි. අවුරුදු අටක විවාහ අද්දැකීම් ඇති මැතිව් පැවසූ දේ සලකා බලන්න. “මගේ බිරිඳ හැදී වැඩුණේ මුදල් අරපිරිමැස්මෙන් වියදම් කරන පවුලක. ඒ නිසා මුදල් පරිහරණය ගැන එයා හොඳට දන්නවා. ඒත් මගේ පවුල් පසුබිම ඊට වඩා වෙනස්. මගේ තාත්තා මත්පැන්වලටයි දුම්පානයටයි ඇබ්බැහි වුණ කෙනෙක්. තාත්තාට හරිහමන් රස්සාවක් තිබුණේ නැති නිසා හුඟක් වෙලාවට අත්‍යවශ්‍ය දේවල් පවා ගන්න අපි ළඟ සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා කවදා හරි අපිට ණය වෙන්න වෙයිද කියලා ලොකු භයක් මට තිබුණා. ඒ භය තාමත් මට තියෙන නිසා තමයි මගේ බිරිඳ අරපිරිමැස්මෙන් මුදල් වියදම් කළත් මම කලබල වෙන්නේ.” මුදල් පරිහරණය සම්බන්ධයෙන් ප්‍රශ්න පැන නඟින විට ඒවා විවාහයට තර්ජනයක් කර නොගෙන විවාහ බැඳීම තවත් ශක්තිමත් වෙන ආකාරයෙන් විසඳාගත හැක්කේ කෙසේද?

විසඳුම් හතරක්

බයිබලය, මුදල් හසුරුවන ආකාරය සම්බන්ධයෙන් උපදෙස් දීමට ලියැවුණු පොතක් නොවෙයි. නමුත් එහි සඳහන් උපදෙස් අදාළ කරගැනීමෙන් විවාහකයන්ට මුදල් පරිහරණය සම්බන්ධව පැන නඟින ප්‍රශ්න මඟ හරවාගැනීමට හැකි වෙනවා. එවැනි මඟ පෙන්වීම් කිහිපයක් අපි දැන් සලකා බලමු.

1. සන්සුන්ව කතාබහ කරන්න.

“එකිනෙකාගෙන් අදහස් විමසන විට ප්‍රඥාවන්තව කටයුතු කළ හැක” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 13:10NW) සමහරවිට මුදල් පරිහරණය ගැන ඔබේ විවාහ සහකරු සමඟ විවෘතව කතා කිරීම ඔබට අභියෝගයක් විය හැකියි. නමුත් ඒ ගැන සන්සුන්ව කතා කිරීමට ඉගෙනගැනීම ඉතා වටිනවා. ඔබ මුදල් ගැන දරන ආකල්පයට ඔබේ පවුල් පසුබිම බලපා ඇති ආකාරය ගැන ඔබේ සහකරුට පවසන්න. එමෙන්ම ඔබේ සහකරු මුදල් සම්බන්ධයෙන් දරන ආකල්පයට ඔහුගේ පවුල් පසුබිම බලපා ඇත්තේ කෙසේද කියා තේරුම්ගැනීමට උත්සාහ කරන්න.

“දෙදෙනෙකු ගමනක් යෑමට නියම කරගත් දවසේදී මුණගැසුණොත් මිසක ඔවුන්ට එම ගමන යා හැකිද” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ආමොස් 3:3NW) එය මුදල් සම්බන්ධ කාරණාවලට අදාළ වෙන්නේ කෙසේද? මුදල් පරිහරණය ගැන සාකච්ඡා කිරීමට වෙනම වේලාවක් නියම කරගැනීම අවශ්‍යයි.

මෙය අත්හදා බලන්න. පවුලේ වියහියදම් ගැන කතා කිරීමට නියමිත වේලාවක් වෙන් කරගන්න. ඒ සඳහා සෑම මාසයකම මුල් දිනය හෝ සෑම සතියකම මුල් දිනය වෙන් කරගත හැකියි. එම සාකච්ඡාව විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ අවසන් කිරීමට හැකි නම් වඩා හොඳයි. ඔබ දෙදෙනාම විවේකයෙන් සිටින අවස්ථාවක් ඒ සඳහා තෝරාගන්න. දරුවන් සමඟ කාලය ගත කරන විට හෝ කෑම කන අවස්ථාවලදී එම විෂය ගැන කතා නොකිරීමට වගබලා ගන්න.

2. ආදායම ගැන නිසි ආකල්පයක් තබාගන්න.

“එකිනෙකාට ගෞරවය දැක්වීමේදී පෙරමුණ ගන්න” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 12:10) පවුලේ මුදල් උපයන එකම කෙනා ඔබ විය හැකියි. එසේවුණත් එම මුදල් ඔබට පමණක් අයිති දෙයක් ලෙස නොසලකා එය පවුලටම අයිති දෙයක් ලෙස සැලකීමෙන් ඔබේ සහකරුට හෝ සහකාරියට ගෞරවය දැක්විය හැකියි.—1 තිමෝති 5:8.

ඔබ දෙදෙනාම මුදල් උපයනවා නම් උපයන ප්‍රමාණය සහ වියදම ගැන ඔබේ සහකරුට පවසන්න. එසේ කිරීමෙන් ඔබ පෙන්වන්නේ ඔබ ඔහුට හෝ ඇයට ගෞරව කරන බවයි. ඒ දේවල් ඔබ පැවසුවේ නැතිනම් එමඟින් ඔබ දෙදෙනා අතර තිබෙන විශ්වාසය පලුඳු වීමට ඉඩ තිබෙනවා. මින් අදහස් වෙන්නේ ඔබ කරන සුළු වියදම් පවා ඔබේ සහකරුට පැවසිය යුතු බව නොවේ. නමුත් සැලකිය යුතු වියදමක් දරන්න සිදු වන දේවල් ගැන ඔබේ සහකරු සමඟ කතා කිරීමෙන් ඔබ දෙදෙනා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

මෙය අත්හදා බලන්න. ඔබට තනිවම වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ගැන සාකච්ඡා කර තීරණයක් ගන්න. ඊට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කිරීමට සිදු වුණොත් මුලින්ම ඒ ගැන ඔබේ සහකරුට පවසන්න.

3. වියදම සටහන් කරන්න.

“උත්සාහවන්තයාගේ සැලසුම් සාර්ථක වෙයි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 21:5NW) අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීමේදී අයවැය ලේඛනයක් සකස් කරගැනීම ඉතා වැදගත්. අවුරුදු පහක විවාහ අද්දැකීම් ලත් නීනා ඒ ගැන පැවසූ දේ සලකා බලන්න. “අපිට ලැබෙන ආදායම සහ වියදම පොතක සටහන් කරනවා නම් අනවශ්‍ය වියදම් මොනවාද කියා හඳුනාගෙන ඒවා අවම කිරීමට හැකි වෙනවා.”

අවුරුදු 26ක විවාහ අද්දැකීම් ලත් පුතුන් දෙදෙනෙකුගේ පියෙක් වන ඩැරන් මෙසේ පැවසුවා. “අපි හැම සතියකටම වියදමට අවශ්‍ය මුදල් වෙන් වෙන් වශයෙන් ලියුම් කවරවලට දැම්මා. උදාහරණයකට කෑමවලට යන වියදම, ගමනාගමන වියදම් සහ වෙනත් වියදම් සඳහා වෙන වෙනම ලියුම් කවර තිබුණා. ඒ මොන එකකට හරි සල්ලි මදි වුණොත් අපි වෙන ලියුම් කවරයකින් ඕනෙ කරන මුදල් ප්‍රමාණය ගත්තා. හැබැයි පුළුවන් ඉක්මනට ආයෙත් ඒ මුදල් ප්‍රමාණය අදාළ ලියුම් කවරයට දාන්න අපි වග බලා ගත්තා.” ඔබ බිල්පත් ගෙවන්නේ ණයවරපතකින් (credit card) නම් සැලැස්මට අනුව එය කිරීම සහ වියහියදම් සටහන් කරගැනීම ඉතා වැදගත්.

මෙය අත්හදා බලන්න. සෑම මාසයකම තිබෙන නිශ්චිත වියදම් මොනවාද කියා සටහන් කරගන්න. ඊට ගෙවල් කුලී හෝ වෙනත් වියදම් ඇතුළත් වෙනවා. එමෙන්ම මාස්පතා ගෙවිය යුතු නමුත් වෙනස් වෙන වියදම්ද සටහන් කරගන්න. ඊට විදුලි බිල, දුරකතන බිල හෝ කෑම සඳහා යන වියදම ඇතුළත් වෙනවා. ඉන්පසු ඔබ දෙදෙනා කොපමණ මුදලක් ඉතිරි කරනවාද කියා තීරණය කරන්න. මාස කිහිපයක් පුරා ඔබ දැරූ වියදම් සටහන් කිරීමෙන් පසු එම සටහන නැවත පරීක්ෂා කර ඔබ කොපමණ වියදමක් දරා තිබෙනවාද කියා සලකා බලන්න. එසේ කිරීමෙන් අනවශ්‍ය වියදම් කපාහැර ණය වීමේ අවදානමෙන් මිදෙන්න ඔබට හැකි වෙනවා.

4. එකිනෙකාගේ වගකීම් කොටස තීරණය කරන්න.

“එක් කෙනෙකුට වඩා දෙදෙනෙකු හොඳය. මන්ද ඔවුන් දෙදෙනා වෙහෙස මහන්සි වී එකට වැඩ කරන විට ඉන් හොඳ ප්‍රතිඵල ලැබේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 4:9, 10NW) සමහර පවුල්වල මුදල් පාලනය කරන්නේ ස්වාමිපුරුෂයායි. තවත් පවුල්වල එම වගකීම ඉටු කරන්නේ භාර්යාවයි. (හිතෝපදේශ 31:10-28) කොහොමවුණත් බොහෝ විවාහකයන් එම වගකීම බෙදාගැනීමට තීරණය කර තිබෙනවා. අවුරුදු 21ක විවාහ අද්දැකීම් ලත් මාර්යෝ පවසන දේ සලකා බලන්න. “මගේ බිරිඳ බිල්පත් ඇතුළු වෙනත් සුළු සුළු වියදම් ගැන බලාගන්නවා. මම බදු මුදල්, කුලී ගාස්තු ඇතුළු වෙනත් වියදම් ගැන බලාගන්නවා. අපි කරන ගෙවීම් ගැන එකිනෙකාට පවසමින් අපි එකමුතුව වැඩ කරනවා.” මුදල් පරිහරණය සම්බන්ධයෙන් ඔබ කුමන ක්‍රමයක් අනුගමනය කළත් වඩා වැදගත් වන්නේ ඔබ දෙදෙනා එකමුතුව වැඩ කිරීමයි.

මෙය අත්හදා බලන්න. එකිනෙකාගේ හැකියාවන් හොඳින් තේරුම්ගෙන ඒ අනුව දෙදෙනාගේ වගකීම් මොනවාද කියා සාකච්ඡා කරන්න. මාස කිහිපයකට පසුව එකිනෙකා වගකීම් හොඳින් ඉටු කර තිබෙනවාද කියා සලකා බලන්න. වගකීම්වල වෙනසක් කිරීමට සිදු වුණොත් ඊට ඔබේ සහයෝගය දෙන්න. ඔබ දෙදෙනාගේ වගකීම් මාරුවෙන් මාරුවට කරන්න. එසේ කිරීමෙන් එම වගකීම ඉටු කිරීමට ඔබේ සහකරු හෝ සහකාරිය කොතරම් වෙහෙසක් දරනවාද කියා ඔබට තේරුම්ගත හැකියි.

එකමුතුකමේ ප්‍රතිඵල

අවුරුදු පහක විවාහ අද්දැකීම් ලත් ලියා මෙවැනි දෙයක් පැවසුවා. “මායි මගේ මහත්තයයි මුදල් සම්බන්ධ කාරණා ගැන අවංකව කතාබහ කරලා එකමුතුව වැඩ කළා. ඒ නිසා අපි දෙන්නා අතර තියෙන ආදරය තවත් වැඩි වුණා.” එම අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ මුදල් පරිහරණය ගැන යුවළක් කතාබහ කරනවා නම් එයින් දෙදෙනා අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වන බවයි.

මුදල් නිසි ලෙස පරිහරණය කරන විදිහ ගැන යුවළක් සාකච්ඡා කරනවා නම් ඔවුන්ගේ අනාගත සැලසුම් ගැන එකිනෙකාට පැවසීමටද අවස්ථාව ලැබෙයි. ඒ වගේම විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට එකිනෙකාට කොතරම් උනන්දුවක් තිබෙනවාද කියාත් ඉන් පිළිබිඹු වෙනවා. යම් දෙයක් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීමට කලින් ඒ ගැන තම විවාහ සහකරු සමඟ කතා කිරීමෙන් ඔහුට හෝ ඇයට ගෞරවය දැක්විය හැකියි. අනික් තැනැත්තාගේ අනුදැනුම නොමැතිව වැය කළ හැකි මුදල් ප්‍රමාණයක් තීරණය කිරීමෙන් විවාහ සහකරු කෙරෙහි තිබෙන විශ්වාසය පිළිබිඹු වෙනවා. යුවළක් ඉහත සඳහන් කළ ආකාරයට කටයුතු කරන විට ඔවුන් අතර තිබෙන බැඳීම තවත් ශක්තිමත් වෙනවා. එවැනි බැඳීමක් කොතරම් වටිනවාද!

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. “ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ හිස වන්නේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ නිසා මුදල් නිසි ලෙස පරිහරණය කිරීමටත් බිරිඳට ආදරයෙන් සැලකීමටත් ස්වාමිපුරුෂයා වගබලා ගත යුතුයි.—එෆීස 5:23, 25.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • මුදල් පරිහරණය ගැන මගේ සහකරු සමඟ මම අවසන් වතාවට කතා කළේ කවදාද?

  • මුදල් පරිහරණය සම්බන්ධයෙන් මගේ සහකරු දක්වන සහයෝගය අගය කළ හැක්කේ කෙසේද?