Skip to content

පටුනට යන්න

බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුට උපකාර කළ හැකි අයුරු

බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුට උපකාර කළ හැකි අයුරු

බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුට උපකාර කළ හැකි අයුරු

බරපතළ අසනීපයකින් පෙළෙන මිතුරෙකුව බැලීමට ගිය අවස්ථාවකදී ඔහු සමඟ කතා කළ යුත්තේ කුමක්ද කියා සිතාගත නොහැකි තත්වයකට ඔබ මුහුණ දී තිබෙනවාද? ඇත්තෙන්ම එවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිශ්චිත නීති නැහැ. එයට හේතුව සංස්කෘතිය සහ පෞද්ගලීකත්වය අනුව එක් රෝගියෙකුට උපකාර කරන ආකාරය තවත් රෝගියෙකුට යෝග්‍ය නොවීමට ඉඩ තිබීමයි. එමෙන්ම රෝගියෙකුගේ තත්වය හා මානසිකත්වය දිනෙන් දින වෙනස් විය හැකි බවත් අප තේරුම්ගත යුතුයි.

ඔබට බරපතළ අසනීපයකට මුහුණ දෙන්න සිදු වුණොත් අන් අය ඔබට උපකාර කරනවාට ඔබ කැමති ආකාරය ගැන සිතා බලන්න. පසුව ඒ ආකාරයෙන් ඔබේ මිතුරාට උපකාර කරන්න. එසේ උපකාර කිරීමේදී ඔබට අදාළ කරගත හැකි බයිබල් ප්‍රතිපත්ති කිහිපයක් අපි දැන් සලකා බලමු.

හොඳින් සවන් දෙන්න

බයිබල් ප්‍රතිපත්ති:

“සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි.”යාකොබ් 1:19.

“නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත.”දේශනාකාරයා 3:1, 7.

▪ බරපතළ රෝගයකින් පෙළෙන මිතුරෙකුව බැලීමට ගිය විට ඔහුට හොඳින් සවන් දෙන්න. සෑම කාරණයක් ගැනම ඔහුට උපදෙස් දෙන්න එපා. එමෙන්ම රෝගියාගේ සෑම ප්‍රශ්නයකටම ඔබ මුල් වී පිළියම් යෙදිය යුතුයි කියා සිතන්නත් එපා. ඔබ ඒ ආකාරයෙන් කටයුතු කළොත් ඔබ නොදැනුවත්වම රෝගියාගේ සිත රිදවන්න ඉඩ තිබෙනවා. රෝගියාට ඇත්තටම අවශ්‍ය වන්නේ උපදෙස් දෙන කෙනෙකුව නොව ඔහු පවසන දේට සවන් දී ඔහුව තේරුම්ගත හැකි කෙනෙකුවයි.

ඔබේ මිතුරාට සිතේ තිබෙන සෑම දෙයක්ම පැවසීමට ඉඩ දෙන්න. ඔහු ඒ දේවල් පවසන විට ඔහුට බාධා කරන්න එපා. සමහරවිට ඔබ රෝගියාව සැනසවීමට පවසන දෙයක් නිසා ඔහු අපහසුතාවට පත් විය හැකියි. ඒ සම්බන්ධයෙන් එමිලියෝ * පැවසූ දේ සලකා බලන්න. “බරපතළ රෝගී තත්වයක් නිසා මට ඇස් පේන්නේ නැතුව ගියා. ඒ නිසා සමහර අවස්ථාවලදී මම මානසිකව ඇද වැටුණා. ඒ වගේ වෙලාවට මගේ යාළුවෝ මාව සනසවන්න මෙහෙම කිව්වා. ‘ඔය වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ ඔයා විතරක් නෙවෙයි. මීට වඩා ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන අය ඉන්නවා.’ හැබැයි එහෙම කියනකොට මට හිතෙන්නේ ඒ අයට මගේ වේදනාව තේරෙන්නේ නැහැ කියලයි. එතකොට මම තවත් මානසිකව වැටෙනවා.”

රෝගීව සිටින මිතුරාට කිසිම බියක් සැකක් නැතුව ඔහුගේ හැඟීම් ප්‍රකාශ කරන්න ඉඩ සලසන්න. රෝගී තත්වය ගැන ඔහුට යම් බියක් දැනෙනවා කියා ඔබට පැවසුවොත් ‘භය වෙන්න එපා’ කියනවා වෙනුවට ඔහුගේ හැඟීම් තේරුම්ගන්න. පිළිකා රෝගයෙන් පෙළෙන එලියානා මෙසේ පැවසුවා. “සමහර වෙලාවට මගේ ලෙඩේ ගැන භයක් දැනෙන නිසා මම අඬනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මට දෙවි ගැන විශ්වාසයක් නැහැ කියලා.” ඔබේ මිතුරා මුහුණ දෙන රෝගී තත්වය නිසා ඔහු කලින් කටයුතු කළ ආකාරයෙන් කටයුතු නොකිරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔහු සමඟ ඉවසිලිවන්තව කටයුතු කිරීමට වග බලාගන්න. ඇතැම් අවස්ථාවලදී ඔහු එකම දේ නැවත නැවත පැවසුවත් එයට හොඳින් සවන් දෙන්න. (1 රාජාවලිය 19:9, 10, 13, 14) ඔහුට හැඟෙන ආකාරය ගැන ඔබට පවසන්න ඔහු කැමැත්තෙන් සිටිනවා ඇති.

සංවේදී වෙන්න

බයිබල් ප්‍රතිපත්ති:

“ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න. හඬන අයත් සමඟ හඬන්න”රෝම 12:15.

“අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”මතෙව් 7:12.

▪ ඔබට යම් ශෛල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වුණොත් එසේත් නැත්නම් යම් ප්‍රතිකාර ක්‍රම ලබාගැනීමට සිදු වුණොත් ඔබ තුළ යම් බියක් ඇති වන්නේ නැද්ද? රෝගීව සිටින ඔබේ මිතුරාටත් ඒ ආකාරයෙන්ම හැඟෙන බව මතක තබාගන්න. ඒ නිසා ඇතැම් අවස්ථාවලදී ඔහු සතුටින් සිටියත් තවත් අවස්ථාවලදී ඔහු කනස්සල්ලෙන් සිටිය හැකියි. ඔහු කනස්සල්ලෙන් සිටින විට ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට විශේෂයෙන්ම පෞද්ගලික කාරණා ගැන ප්‍රශ්න ඇසීමට ඉක්මන් වෙන්න එපා.

මනෝවෛද්‍යවරියක් වන ඇනා කටාලිෆොස් මෙසේ පැවසුවා. “රෝගියෙකුට ඔහුගේ රෝගය ගැන නිදහසේ කතා කරන්න ඉඩ දෙන්න. ඔහු කතා කරන්න කැමැත්තෙන් ඉන්න වෙලාවට ඔහු කැමති ඕනෙම දෙයක් ගැන කතා කරන්න. ඒත් රෝගියා කතා කරන්න කැමති නැත්නම් නිහඬව ඉන්න. ඒ වගේ වෙලාවට ඔහු ළඟින් ඉඳගෙන ඔහුගේ අත තදින් අල්ලගෙන ඉන්න එක ප්‍රමාණවත්. සමහර වෙලාවට රෝගියෙකුට අවශ්‍ය කරන්නේ ඔහු හඬන වෙලාවට ඔහු සමඟ හඬන්න කෙනෙක් විතරයි.”

ඔබේ මිතුරා ඔබව විශ්වාස කරමින් ඔහුගේ රෝගී තත්වය ගැන පැවසූ දේවල් අන් අයට පවසන්න එපා. අවස්ථා දෙකකදීම පිළිකා රෝගයට ලක් වුණු රොසැන් කැලික් නම් ලේඛිකාව පැවසූ දේ සලකා බලන්න. “රෝගියාගේ අනුදැනුම නැතුව ඔහුගේ රෝගී තත්වය ගැන අන් අයට කියන්න එපා. එසේ පැවසීමට රෝගියා ඔබට අවසර දී තිබෙනවා නම් පැවසිය යුතු දේවල් හා නොපැවසිය යුතු දේවල් මොනවාද කියා රෝගියාගෙන් විමසන්න.” ඒ සම්බන්ධයෙන් පිළිකා රෝගයෙන් සුවය ලැබූ එඩ්සන් මෙසේ පැවසුවා. “මට පිළිකාවක් වැළඳිලා තියෙනවා කියලත් මම වැඩි කල් ජීවත් වෙන එකක් නැහැ කියලත් මගේ යාළුවෙක් අනික් අයට කියලා තිබුණා. ඒ වෙනකොට මම ශෛල්‍යකර්මයක් කරලා පටක පරීක්ෂණ (biopsy) වාර්තාව ලැබෙන කල් බලාගෙන හිටියා. පිළිකා සෛල ශරීරය පුරා පැතිරිලා නැහැ කියලා ඒකෙන් අනාවරණය වුණා. ඒත් මගේ යාළුවා කියලා තිබුණු දේවල් නිසා සමහරු හිතන්නේ බලන්නේ නැතුව මගේ ලෙඩේ ගැන මගේ බිරිඳට එක එක දේවල් කියන්නත් ප්‍රශ්න අහන්නත් පටන්ගත්තා. ඒකෙන් එයා හොඳටම කලකිරුණා.”

ගත යුතු ප්‍රතිකාර ක්‍රම ගැන ඔබේ මිතුරා සිතමින් සිටිනවා නම් ඔහු තෝරාගත යුතු ප්‍රතිකාර මොනවාද කියා නිර්දේශ කිරීමට ඉක්මන්වෙන්න එපා. පිළිකා රෝගයෙන් සුවය ලැබූ ලෝරේ හෝප් පැවසූ දේ සලකා බලන්න. “පිළිකා රෝගීන්ට හෝ ඉන් සුවය ලැබූ අයට යම් ප්‍රතිකාර ක්‍රම ගැන තොරතුරු ඇතුළත් ලිපි ලබා දීමට කලින් ඒවා ලබාගැනීමට ඔවුන් කැමතිද කියා අසන්න. නැත්නම් ඔබ හොඳ චේතනාවෙන් ඒ දේ කළත් ඔබේ මිතුරා ඉන් අධෛර්යයට පත් විය හැකියි.” යම් ප්‍රතිකාර ක්‍රම ගැන තොරතුරු දැනගැනීමට ඇතැමුන් කැමති වුණත් තවත් අය ඊට අකමැති විය හැකි බව මතක තබාගන්න.

රෝගීව සිටින මිතුරාව බැලීමට යෑම ඉතා වැදගත්. නමුත් ඔබ සමඟ බොහෝ කාලයක් ගත කිරීමට තරම් හොඳ මානසිකත්වයක ඔහු නොසිටිය හැකියි. වෙහෙස නිසා හෝ ශක්තිය හීන වී ඇති නිසා ඔබට සවන් දීමටවත් ඔහුට නොහැකි වෙයි. ඒ නිසා රෝගීව සිටින කෙනා ඔබේ කිට්ටුම මිතුරෙක් වුණත් ඔහුව බැහැදැකීමට ගිය විට ඔහු සමඟ බොහෝ කාලයක් ගත කරන්න එපා. අනික් අතට ඔහු සමඟ වැඩි කාලයක් ගත කිරීමට ඔබට හැකියාවක් නැති බව රෝගියාට අඟවන්නත් එපා. ඔබේ සැලකිල්ල ඔහුට දැනෙන්න සලස්වන්න.

රෝගියාට සැලකිල්ල දැක්වීමේදී සමබරව සහ නැණවත්ව කටයුතු කරන්න. උදාහරණයකට ඔබ රෝගියා වෙනුවෙන් කෑමක් පිළියෙල කරන්න තීරණය කළොත් එය සෑදීමට කලින් ඔහුගේ ශරීර සෞඛ්‍යයට එය යෝග්‍යයිද කියා දැනගන්න. එමෙන්ම ඔබට උණ හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබෙනවා නම් ඔහුව බැලීමට නොයෑම වඩාත් සුදුසුයි.

දිරිමත් කරන්න

බයිබල් ප්‍රතිපත්ති:

“ප්‍රඥාවන්තයාගේ වචන සුවය ගෙන දෙයි.”හිතෝපදේශ 12:18.

“ඔබේ කතාව ලුණෙන් රස කළ ආහාරයකට සමාන විය යුතුයි.”කොලොස්සි 4:6.

▪ රෝගීව සිටින මිතුරාව ශක්තිමත් කිරීමට ඔබ තුළ අධිෂ්ඨානයක් තිබෙනවා නම් ඔබ ඔහු සමඟ කතා කරන ආකාරයෙන් සහ කටයුතු කරන ආකාරයෙන් එය පිළිබිඹු වෙනවා. ඔබ ඒ මිතුරාට ලෙන්ගතු වීමට බලපෑ යහපත් ගතිගුණ ඔහු තුළ තවමත් තිබෙන බව මතක තබාගන්න. ඔහු දැන් රෝගීව සිටියත් ඔහු තවමත් ඔබේ මිතුරා බව අමතක කරන්න එපා. ඔබ ඔහුව අසරණයෙකු ලෙස සැලකුවොත් ඔහුත් තමාවම අසරණයෙකු ලෙස දැකීමට පෙලඹෙයි. අස්ථි රෝගයකින් පෙළෙන කාන්තාවක් වන රොබෙටා මෙසේ පැවසුවා. “මට සාමාන්‍ය කෙනෙක් විදිහට සලකන්න. මම අසනීපෙන් හිටියත් මගේ දේවල් මට ඕනේ විදිහට කරන්න මම කැමතියි. මාව අසරණයෙක් විදිහට දකිනවාට මම කැමති නැහැ.”

ඔබේ මිතුරාට ඔබ පවසන දේවල් සහ ඒවා පවසන ආකාරයත් බලපාන බව මතක තබාගන්න. ඔබේ කටහඬේ ස්වරය ගැන පවා ඔබ ඉතා සැලකිලිමත් විය යුතුයි. උදාහරණයකට ඒනෙස්ටූ මුහුණ දුන් තත්වය ගැන සලකා බලන්න. ඔහුට පිළිකාවක් වැළඳී ඇති බව දැනගෙන වැඩි කාලයක් යෑමට කලින් විදෙස්ගතව සිටි මිතුරෙක් ඔහුට දුරකථන ඇමතුමක් දී මෙසේ පැවසුවා. “ඔයාට පිළිකාවක් හැදිලා කියලා මට නම් හිතාගන්නවත් බැහැ.” ඔහු එය පැවසූ ආකාරය නිසා ඒනෙස්ටු කම්පනයට පත් වුණා.

කලින් අදහස් දැක්වූ ලෝරේ හෝප් නම් ලේඛිකාව මෙවැනි දෙයක් පැවසුවා. “ඔබ රෝගියෙකුගෙන් ‘ඔයාට දැන් කොහොමද’ කියා විමසුවා යැයි සිතන්න. ඔබ එය ඇසූ ආකාරය, ඔබේ මුහුණේ ඉරියව්ව සහ ඒ අවස්ථාවේ රෝගියා සිටි තත්වය අනුව ඒ ප්‍රශ්නය ඔහු බාරගන්නා ආකාරය වෙනස් වෙනවා. සමහරවිට ඔබ ඇසූ ප්‍රශ්නය ඔහුට සහනයක් ගෙන දිය හැකියි. නැත්නම් ඔහු තුළ දුකක් හෝ බියක් ඇති කළ හැකියි.”

රෝගීව සිටින කෙනා කැමති වන්නේ ඔබ ඔහුව තේරුම්ගෙන ඔහු ගැන සැලකිලිමත් වෙමින් ඔහුට ගෞරවයෙන් සලකනවාටයි. ඒ නිසා ඔබට ඔහුව වටිනා බවත් ඔබ ඔහුට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බවත් දැනෙන්න සලස්වන්න. මොළයේ ආබාධයකින් (brain-tumor) පෙළෙන රෝස්මරි ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙයයි. “මගේ යාළුවන් මට ආදරෙයි කියලත් ඕනෑම දෙයකදී ඔවුන් මාත් එක්ක ඉන්නවා කියලත් කිව්වාම ඒක මට ලොකු හයියක් වුණා.”—හිතෝපදේශ 15:23; 25:11.

උපකාරශීලී වන්න

බයිබල් ප්‍රතිපත්තිය:

“ප්‍රේමය වචනවලටත් කතාවටත් සීමා නොකරමු. ඒ වෙනුවට ක්‍රියාවෙන් හා අවංකකමින් ප්‍රේමය පෙන්වමු.”1 යොහන් 3:18.

▪ ඔබේ මිතුරා ප්‍රතිකාර ලබාගැනීමට පටන්ගත් පසු ඔහුට වෙනත් ආකාරවලින් ඔබේ උපකාර අවශ්‍ය වෙයි. ඒ නිසා “ඔයාට උදව්වක් ඕනේ වුණොත් මට කියන්න” කියා පැවසීමෙන් පමණක් සෑහීමට පත් වන්න එපා. ඒ වෙනුවට ඔහුගේ එදිනෙදා වැඩවලදී ඔහුට උදව් කරන්න. උදාහරණයකට කෑම පිළියෙළ කිරීම, නිවස අස්පස් කිරීම, රෙදි සේදීම, රෙදි මැදීම, ඔහු වෙනුවෙන් වෙළඳපොළට යෑම හෝ ඔහු රෝහලට යන විට ඔහු සමඟ යෑම වැනි ආකාරවලින් ඔහුට උපකාර කරන්න. රෝගීව සිටින කෙනා වෙනුවෙන් අවශ්‍ය ඕනෑම උපකාරයක් කිරීමට සූදානමින් සිටින්න. එමෙන්ම යම් උපකාරයක් කිරීමට ඔබ පොරොන්දු වුණා නම් එය ඒ ආකාරයෙන්ම ඉටු කිරීමට වගබලා ගන්න.—මතෙව් 5:37.

“අපි රෝගියා වෙනුවෙන් කරන මොනම දෙයකින් හෝ රෝගියා සතුටු වී ඔහුගේ මානසිකත්වය හොඳ අතට හැරෙනවා නම් එය ඉතා වටිනවා” කියා කලින් සඳහන් කළ රොසැන් කැලික් නම් ලේඛිකාව පැවසුවා. ඒ අදහස නිවැරදි බව දෙවතාවක්ම පිළිකා රෝගය වැළඳී සුවය ලැබූ සිල්වියා පැවසූ මේ දෙයින් පැහැදිලි වෙනවා. “ප්‍රතිකාර ගන්න මට හැමදාම රෝහලට යන්න සිද්ධ වුණ නිසා මගේ යාළුවෝ මාරුවෙන් මාරුවට මාව වාහනයෙන් එක්කන් ගියා. ඒක මට ලොකු සහනයක් වුණා. යන එන අතරවාරයේ අපි එක එක දේවල් ගැන කතා කළා. ප්‍රතිකාර අරන් එන හැම වතාවකදීම අපි කඩේකට ගිහින් කෝපි බිව්වා. ඒ හැම දේකින්ම මගේ මනසට සහනයක් දැනුණා.”

ඔබේ මිතුරාට අවශ්‍ය කුමක්ද කියා ඔබ තීරණය කරනවා වෙනුවට ඒ ගැන ඔහුගෙන්ම අසා දැනගන්න කියා පැවසූ රොසැන් කැලික් තවදුරටත් මෙසේද පැවසුවා. “උපකාර කරනකොට හැම දෙයක්ම ඔයා කැමති විදිහට කරන්න හදන්න එපා. එහෙම කළොත් රෝගියා අපහසුතාවට පත් වෙනවා. ඔයා මට කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නේ නැත්නම් මට හිතෙන්නේ මම කිසිම දෙයක් කරගන්න බැරි අසරණයෙක් කියලයි. එහෙම හිතන්න මම කැමති නැහැ. ඒ නිසා මට කරන්න පුළුවන් දේවල් කරන්න උදව් කරන්න.”

අසනීපයෙන් සිටියත් යම් දේවල් තනිවම කළ හැකි කෙනෙකු ලෙස ඔහු දෙස බලනවාට ඔබේ මිතුරා කැමති විය හැකියි. ඒඩ්ස් රෝගයෙන් පෙළෙන ආඩිල්සන් පැවසූ දේ බලන්න. “මගේ අසනීපය නිසා මාව කොන් කරනවාටවත් කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් විදිහට මාව දකිනවාටවත් මම කැමති නැහැ. යම් ආකාරයකින් හරි අනික් අයට උදව් කරන්න මම කැමතියි. මට තාමත් මගේ වැඩ තනියම කරගන්න පුළුවන් කියලා හැඟෙනකොට ලොකු සහනයක් දැනෙනවා. මගේ ජීවිතය සතුටින් ගෙනියන්න ඒක මට ලොකු උපකාරයක්. සමහර කාරණා ගැන මට තීරණ ගන්න ඉඩ දීලා අනික් අය ඒ තීරණවලට ගරු කරනවාට මම කැමතියි. රෝගීව සිටියත් පියෙක් හෝ මවක් ලෙස තමන්ට හිමි වගකීම් සහ වෙනත් වගකීම් ඉටු කිරීමට හැකියාවක් නැහැ කියා අදහස් වෙන්නේ නැහැ.”

ළඟින් සිටින්න

බයිබල් ප්‍රතිපත්තිය:

“සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”හිතෝපදේශ 17:17.

▪ රෝගීව සිටින මිතුරා දුර ඈත ප්‍රදේශයක සිටින නිසා හෝ වෙන යම් හේතුවක් නිසා ඔහුව බැලීමට යා නොහැකි නම් අඩුම තරමින් දුරකථන ඇමතුමක් දී ඔහු සමඟ කතා කරන්න. නැත්නම් ලිපියකින් ඔහුගේ සුව දුක් විමසන්න. එවැනි ලිපියක සඳහන් කළ හැක්කේ කුමක්ද? ශෝකයෙන් සිටින අයව සනසවන උපදේශකයෙකු ලෙස කටයුතු කරන ඇලන් ඩී. වුල්ෆෙල්ට් ඒ ගැන පැවසුවේ මෙයයි. “ඔබ එක්ව සතුටු වූ අවස්ථාවන් ගැන සඳහන් කරන්න. එමෙන්ම හැකි ඉක්මනින් ඔබ නැවතත් ඔහුට ලිපියක් ලියන බව සඳහන් කරමින් එය ඉටු කිරීමට වගබලා ගන්න.”

රෝගීව සිටින මිතුරාගේ සිත රිදෙන යමක් ඔබ අතින් සිදු වෙයි කියා සිතමින් ඔහුගෙන් ඈත් වී සිටින්න එපා. ඔබ මිතුරා ළඟින්ම සිටියොත් උපකාර කිරීමට ඔබ කැමැත්තෙන් සිටින බව ඔහු තේරුම්ගනියි. ලෝරේ හෝප් ඇගේ කෘතියේ මෙවැනි දෙයක් සඳහන් කර තිබෙනවා. “අපි කවුරු අතිනුත් අන් අයගේ හිත රිදෙන දේවල් වෙනවා. ඒත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ගැටලුව වෙන්නේ අපේ අතින් රෝගියාගේ හිත රිදෙන දෙයක් වෙයි කියලා ඔහුට උපකාර නොකර ඈත් වෙලා ඉන්න එකයි.”

රෝගීව සිටින ඔබේ මිතුරාට ඔබව වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඔහු රෝගයෙන් පෙළෙන කාල සීමාව තුළ විය හැකියි. ඒ නිසා “සැබෑ මිතුරෙකු” මෙන් ඔහු සමඟ සිටිමින් ඔහුව සනසවන්න. සමහරවිට ඔහු වෙනුවෙන් ඔබ කරන කියන දේවලින් ඔහුගේ වේදනාව තුරන් වෙන එකක් නැහැ. නමුත් ඒ වේදනාව දරාගැනීම සඳහා ඔහුව ශක්තිමත් කරන්න ඔබට හැකියි.

[පාදසටහන]

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.