Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්: දෙවියන් කුරිරුද?

දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?

දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?

හුඟක් අය හිතන්නේ දෙවියන් කුරිරුයි කියලයි. එයාලා එහෙම හිතන්නේ ඇයි?

සමහරු එහෙම හිතන්නේ ලොව පුරා ස්වාභාවික විපත් සිද්ධ වෙන නිසයි. දෙවියන් කුරිරු කෙනෙක් නෙමෙයි නම් මේ වගේ විපත්ති සිද්ධ වෙන්න ඉඩ දෙයිද කියලා එයාලා කල්පනා කරනවා.

තවත් අය දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ බයිබලේ තියෙන සමහර සිද්ධීන් නිසයි. නෝවාගේ කාලයේ ඇති වුණු ජලගැල්ම ඒ වගේ එකක්. ඒ ගැන බයිබලෙන් කියවද්දී ‘ප්‍රේමණීය දෙවි කෙනෙක් ඒ වගේ විනාශයක් කරයිද’ කියන ප්‍රශ්නේ එයාලට මතු වෙනවා.

ඔයාටත් දෙවියන් කුරිරු කෙනෙක් කියලා හිතිලා තියෙනවද? එහෙමනම් මේ ප්‍රශ්නෙට උත්තර දැනගන්න එක ප්‍රයෝජනවත් වෙයි.

අපි කුරිරු ක්‍රියා හෙළාදකින්නේ ඇයි?

බයිබලේ කියන්නේ දෙවියන් “ඔහුගේම ගතිලක්ෂණ ඇතුව” මිනිසුන්ව නිර්මාණය කළා කියලයි. (උත්පත්ති 1:27) හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා වටහාගන්න අපිට හැකිකම තියෙන්නේ ඒ නිසයි. කුරිරු ක්‍රියාවක් දැක්කම ඒක වැරදියි කියන හැඟීම අපි තුළ ඇති වෙන නිසා ඒක හෙළාදකින්න අපි ඉබේම පෙලඹෙනවා. ටිකක් හිතන්න, දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරලා තියෙන මිනිසුන් කුරිරු ක්‍රියාවන් හෙළාදකිනවා නම් දෙවියන් ඊට වඩා කොච්චර වැඩියෙන් එවැනි ක්‍රියා හෙළාදකිනවා ඇද්ද?

දෙවියන් පවසලා තියෙන මේ දෙයින් ඒක තවත් තහවුරු වෙනවා. “මා ක්‍රියා කරන ආකාරය ඔබ ක්‍රියා කරන ආකාරයට වඩා බොහෝ උසස්ය. මාගේ සිතුවිලිද ඔබේ සිතුවිලිවලට වඩා බොහෝ සෙයින් උසස්ය.” (යෙසායා 55:9) හැබැයි යම් යම් හේතු නිසා දෙවියන් කුරිරුයි කියලා අපි නිගමනය කරනවා නම් ඒකෙන් අඟවන්නේ අපි දෙවිට වඩා ධර්මිෂ්ඨ වෙන්න හදනවා කියලා නෙමෙයිද?

සාමාන්‍යයෙන් අපි කුරිරු කෙනෙක් කියලා කියන්නේ අනික් අය දුක් විඳිනවා දැකලා සතුටු වෙන නැත්නම් අනික් අයගේ වේදනාව ගැන කිසි තැකීමක් නැති කෙනෙක්ටයි. තාත්තා කෙනෙක් දරුවට රිද්දන්න තියෙන ආසාව නිසා දරුවට දඬුවම් කරනවා නම් එයා කුරිරු තාත්තා කෙනෙක්. හැබැයි දරුවව නිවැරදි කරන්න, එයාව ආරක්ෂා කරගන්න ඕන නිසා දරුවට දඬුවම් කරනවා නම් එයා හොඳ තාත්තා කෙනෙක්. ඒත් සමහර අවස්ථාවලදී තාත්තා කෙනෙක් හොඳ හිතින් කරන දෙයක් තව කෙනෙක් වැරදි විදිහට තේරුම්ගන්න පුළුවන්. ඒ හා සමානව දෙවියන් කුරිරුයි කියලා සමහරු හිතන්නේ වැරදි වැටහීමක් නිසා වෙන්න බැරිද? ඒ නිසා හොඳම දේ දෙවියන් කුරිරු කෙනෙක් කියලා නිගමනය කරන්න ඉස්සෙල්ලා සමහරු ඒ විදිහට හිතන්නේ ඇයි කියලා තේරුම්ගන්න එකයි.

අපි ඊළඟ ලිපිවලින් බලන්නේ ස්වාභාවික විපත් නිසාත් බයිබලේ සඳහන් සමහර සිද්ධීන් නිසාත් දෙවියන් කුරිරුයි කියලා නිගමනය කරන එක හරිද කියලයි.