Skip to content

පටුනට යන්න

මිනිසුන් දුක් කම්කටොලු අද්දකින්නේ ඇයි?

මිනිසුන් දුක් කම්කටොලු අද්දකින්නේ ඇයි?

මිනිසුන් විඳින දුක් වේදනාවලට හේතු වන දේවල් හුඟක් තියෙන්න පුළුවන්. ඒවා තේරුම්ගන්න බැරි තරම් සංකීර්ණයි වගේ පේන්නත් පුළුවන්. හැබැයි මේ පොළොවේ මෙචච්ර දුක් කම්කටොලු ඇති වෙලා තියෙන්නේ ප්‍රධාන දේවල් පහක් නිසයි. ඒවා මොනවද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ බයිබලෙන් විතරයි. ඒ ගැන දැනගන්න ඔයා කැමතිද? මේ ලිපිය කියවද්දී දුක් කම්කටොලුවලට ඇත්තටම හේතු වෙන දේවල් ගැන බයිබලේ දීලා තියෙන පැහැදිලි උත්තරේ තේරුම්ගන්න උත්සාහ කරන්න.—2 තිමෝති 3:16.

දූෂිත ආණ්ඩු

බයිබලේ සඳහන් වන්නේ “පාලනය දුෂ්ටයෙකුගේ අතට පත් වූ විට ජනයා සුසුම්ලති” කියලයි.—හිතෝපදේශ 29:2.

මිනිසුන්ව අමානුෂික විදිහට පාලනය කරපු කුරිරු පාලකයන් ඉතිහාසය පුරා ඉඳලා තියෙනවා. සමහරු දේශපාලනයට පිවිසෙන්නේ මිනිසුන්ට උදව් කරන්න තියෙන අවංක ආසාව නිසයි. ඒත් බලයට ආවට පස්සේ බලය දිගටම රැකගන්න අරගලයක නිරත වෙන්න සිදු වෙන නිසා එය ඉටු කරන්න ඔවුන්ට බැරි වෙනවා. තවත් අය තමන්ගේ වාසි ප්‍රයෝජන වෙනුවෙන් බලය අනිසි විදිහට පාවිච්චි කරන නිසාත් ජනතාව පීඩා විඳිනවා. එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් මෙහෙම කියපු එක පුදුමයක් නෙමෙයි. “ඉතිහාසය යනු අසාර්ථක වූ වෑයම් හා ඉටු නොවූ අපේක්ෂාවන් පිළිබඳ කතා පුවතකි.”

බයිබලේ මෙහෙමත් සඳහන් වෙනවා. ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත.’ (යෙරෙමියා 10:23) මිනිසෙක්ට තමාගෙම ජීවිතයවත් නිවැරදි මාර්ගයේ ගෙනි යන්න අවශ්‍ය ප්‍රඥාව, හැකියාව නැත්නම් රටක් රාජ්‍යයක් යහතින් පාලනය කරන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳන්න මිනිස් පාලකයන්ට හැකියාවක් නැත්තේ ඇයි කියලා ඒකෙන් පැහැදිලියි. ඇත්තටම දූෂිත ආණ්ඩු, කුරිරු පාලකයන් තමයි දුක් කම්කටොලුවලට හේතුව.

මිනිසුන්ව මුළා කරන ආගම්

යේසුස් මෙහෙම කිව්වා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:35.

හැම ආගමකම වගේ ප්‍රේමය, එකමුතුකම ගැන දේශන දෙනවා. හැබැයි වැඩිදෙනෙකුගේ හිත්වල තාමත් උස් පහත් භේද, වෛරසහගත හැඟීම් තියෙනවා. ඒකෙන් තේරෙන්නේ ප්‍රේමයේ නියම අර්ථය මිනිසුන්ගේ හිත්වලට කාවද්දන්න ආගමික නායකයන්ට පුළුවන් වෙලා නැහැ කියලයි. ඒ වෙනුවට ඔවුන් කරලා තියෙන්නේ රටවල් හා ජාතීන් අතරේ බේදීම්, අරගල, වෛරය ඇති කරන එකයි. ආගම් ගැන හදාරණ හෑන්ස් කූං ඔහු ලියූ පොතක මේ වගේ දෙයක් සඳහන් කළා. “ඉතිහාසයේ සිදු වෙලා තියෙන දරුණුම, කුරිරුම දේශපාලන අරගලවලට පණ පොවලා තියෙන්නේ ආගම්.”—Christianity and the World Religions.

ඒ විතරක් නෙමෙයි විවාහෙට පෙර හා විවාහෙන් පිට ලිංගික සම්බන්ධකම් පැවැත්වීම, සමලිංගික ඇසුර වගේ පහත් ක්‍රියා අද හුඟක් ආගම්වලින් අනුමත කරනවා. ප්‍රතිඵලයක් විදිහට ලෙඩ රෝග දසත පැතිරිලා. අනපේක්ෂිත ගැබ්ගැනීම්, ගබ්සා, පවුල් ජීවිත බිඳ වැටීම් එන්න එන්නම වැඩි වෙලා. එහෙමනම් මිනිසුන් මෙතරම් දුක් ගැහැට විඳීම පුදුමයක්ද!

පව්කාර ස්වභාවය හා වැරදි ආසාවන්

බයිබලේ මෙහෙම කියනවා. “කෙනෙක් නොමඟ ගොස් වරදට පෙලඹෙන්නේ ඒ තැනැත්තා තුළ තිබෙන නුසුදුසු ආශාවන් නිසාය. ඒ ආශාවන් පාලනය කරගන්නේ නැත්නම් ඔහු තුළ පව් කිරීමට පෙලඹීමක් ඇති වෙයි.”—යාකොබ් 1:14, 15.

අපි හැමෝටම පව්කාරකම උරුම වෙලා තියෙන නිසා අපි නිතරම පෙලඹෙන්නේ වැරදි දේවල් කරන්නයි. වැරදි ආසාවක් ඉටු කරගන්න අවස්ථාව ලැබුණාම ඒක පාලනය කරගන්න ලේසි නැහැ. (එෆීස 2:3) අපි ඒ වැරදි ආසාවට අහු වෙලා ඒක ඉටු කරගත්තොත් අනිවාර්යයෙන්ම දුක්බර ප්‍රතිඵල විඳින්න සිදු වෙනවා.

“අපි අද්දකින ප්‍රශ්න ගැටලු වැඩිහරියකට වග කියන්න ඕන අපිමයි” කියලා එක ලේඛකයෙක් සඳහන් කළා. ඔහු තවදුරට මෙහෙමත් සඳහන් කළා. “කිසිම ඉවක් බවක් නැතුව අපේම ආසාවන් ඉටු කරගන්න උත්සාහ කරන නිසා තමයි මේ තරම් දුක් වේදනා විඳින්න අපිට සිදු වෙලා තියෙන්නේ.” සමාජයේ හොඳ පිළිගැනීමක් තියෙන හුඟදෙනෙක් මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට, සූදුවට, ලිංගික ක්‍රියාවලට තියෙන අධික ආසාව නිසා එයාලගේ ජීවිත නිස්කාරණේ විනාශ කරගෙන තියෙනවා. ඒක එයාලගේ පවුලේ අයට, හිතවතුන්ට කොයි තරම් දුකක්ද! මිනිසුන් තුළ තියෙන පව්කාර ස්වභාවය නිසා ‘මුළු මිනිස් වර්ගයාම මේ දක්වා එක්ව කෙඳිරිගාමින් හා වේදනා විඳිමින් සිටිනවා’ කියලා බයිබලේ සඳහන් දෙය ඇත්තක් කියලා අවිවාදයෙන්ම පිළිගන්න සිදු වෙනවා.—රෝම 8:22.

සාතන් හා භූතයන්

“මේ සමාජයේ දෙවියා” සාතන් කියලත් ඔහුගේ සහයට බලවත් භූත සේනාවක් ඉන්නවා කියලත් බයිබලේ සඳහන් වෙනවා.—2 කොරින්ති 4:4; එළිදරව් 12:9.

මිනිසුන්ව දෙවිගෙන් ඈත් කරලා ඔවුන්ව තමන්ට ඕන ඕන විදිහට නටවන්න සාතන් හා භූතයන් සෑහෙන උත්සාහයක් ගන්නවා. බයිබලේ මෙහෙම සඳහන් වෙනවා. “අපට තිබෙන පොරබැදීම ඇට මස් ලේ නහර සහිත මිනිසුන්ට විරුද්ධව තිබෙන පොරබැදීමක් නොවේ. ඒ වෙනුවට අපට පොරබැදීමට සිදු වී තිබෙන්නේ මේ අන්ධකාර ලෝකයට අයත් පාලන ක්‍රම, බලධාරීන් සහ ලෝක පාලකයන්ට විරුද්ධවය. එනම් ස්වර්ගීය ස්ථානවල සිටින භූත සේනාවන්ට විරුද්ධවය.”—එෆීස 6:12.

මිනිසුන්ට වධ වේදනා ඇති කරලා භූතයන් සෑහෙන සතුටක් ලබනවා. හැබැයි ඒගොල්ලන් ඊට වඩා සතුටක් ලබන්නේ මුළු පොළොවටම මහෝත්තම දෙවි වන යෙහෝවාගෙන් මිනිසුන්ව ඈත් කරන එකෙනුයි. (ගීතාවලිය 83:18) එහෙම කරන්න එයාලා ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, මායා බලයෙන් කරන ක්‍රියා, මන්ත්‍ර ගුරුකම්, සාත්තර වගේ දේවල් යොදාගන්නවා. ඒ දේවල නියැලෙන කෙනෙක් සාතන්ගේ හා භූතයන්ගේ ග්‍රහණයට හසු වෙනවා. ඒ නිසා තමයි ඒ වගේ දේවලට සම්බන්ධ වෙන්න එපා කියලා යෙහෝවා දෙවියන් අපිට අනතුරු අඟවලා තියෙන්නේ. අපි අනතුරු ඇඟවීම්වලට කීකරු වෙලා සාතන්ට හා භූතයන්ට විරුද්ධව හිටියොත් අපිව හසු කරගන්න එයාලට බැහැ.—යාකොබ් 4:7.

අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ”

මීට අවුරුදු දෙදාහකට විතර කලින් බයිබලේ මෙහෙම සඳහන් වුණා. “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි.”

අවසාන කාලයේ ජීවත් වෙන එක ඉතා අසීරු වෙන්න හේතුවත් බයිබලේ මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. “මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු . . . අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.” අද පොළොව පුරා තියෙන සියලුම දුක් කම්කටොලුවලට ප්‍රධාන හේතුවක් තමයි අපි “අවසාන කාලයේ” ජීවත් වෙන එක.—2 තිමෝති 3:1-4.

මිනිසුන් කොච්චර උත්සාහ කළත් මේ පොළොවෙන් දුක් වේදනා නැති කරලා දාන්න බැරි ඇයි කියලා දැන් ඔයාට පැහැදිලිද? එහෙමනම් ඒ දේ කරන්න පුළුවන් කාටද? මේ මුළු විශ්වයම නිර්මාණය කරපු දෙවියන්ට විතරයි මේ පොළොවෙන් දුක් වේදනා තුරන් කරන්න පුළුවන්. “යක්ෂයාගේ ක්‍රියා සහමුලින්ම නැති කර දැමීමට” දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (1 යොහන් 3:8) ඒ දේ දෙවියන් කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ ලිපියෙන් බලමු.