Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර උත්සව සමරන්නේ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර උත්සව සමරන්නේ නැත්තේ ඇයි?

 යම් උත්සවයක් සමරන එක දෙවියන් අනුමත කරනවාද නැද්ද කියලා සාක්ෂිකරුවන් දැනගන්නේ කොහොමද?

 යම් උත්සවයක් සමරන්න හරි ඒකට සහභාගි වෙන්න හරි කලින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති හොඳින් සලකා බලනවා. සමහර උත්සව සහ සැමරීම් බයිබලේ තියෙන ප්‍රතිපත්තිවලට කෙළින්ම විරුද්ධයි. සාක්ෂිකරුවන් ඒ වගේ උත්සව පවත්වන්නේවත් ඒවාට සහභාගි වෙන්නේවත් නැහැ. ඒත් යම් උත්සවයක් සමරන එකෙන් බයිබල් ප්‍රතිපත්තියක් කඩ වෙන්නේ නැති අවස්ථාවලදී ඒක සමරනවාද නැද්ද කියලා සාක්ෂිකරුවෙක්ට පෞද්ගලිකව තීරණය කරන්න පුළුවන්. ඒ තීරණය ගද්දී “දෙවිට හා මිනිසාට විරුද්ධව කිසි වරදක් නොකිරීමට” එයාලා වගබලා ගන්නවා.—ක්‍රියා 24:16.

 යම් උත්සවයක් සමරනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් සාක්ෂිකරුවන් හිතලා බලන ප්‍රශ්න කීපයක් අපි බලමු. a

  •   මේ උත්සවය පදනම් වෙලා තියෙන්නේ බයිබලයට පටහැනි ඉගැන්වීමක් මතද?

     බයිබල් ප්‍රතිපත්තිය: “‘ඔවුන් අතරින් පිටතට ඇවිත් ඔවුන්ගෙන් වෙන් වන්න’ කියා යෙහෝවා දෙවි කියන්නේය. ‘තවදුරටත් අපවිත්‍ර දේවලට අත නොගසන්න.’”—2 කොරින්ති 6:15-17.

     ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට පටහැනි, දෙවියන් පිළිකුල් කරන දේවල් ඇතුළත් පහත සඳහන් වෙන විදිහේ උත්සව කොහොමටවත් සමරන්නේ නැහැ.

     වෙනත් දෙවිවරුන්ට වන්දනාමාන කිරීමේ අරමුණින් ආරම්භ වුණ උත්සව. යේසුස් මෙහෙම කිව්වා. “ඔබ නමස්කාර කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවාටයි. ඔබේ පරිශුද්ධ සේවය පිරිනැමිය යුත්තේ ඔහුට පමණයි.” (මතෙව් 4:10) සාක්ෂිකරුවන් ඒ උපදෙස අදාළ කරගන්න නිසා නත්තල, පාස්කුව සහ මැයි දිනය සමරන්නේ නැහැ. මොකද ඒ උත්සව ආරම්භ වුණේ වෙනත් දෙවිවරුන්ට කරපු නමස්කාරය සහ වත්පිළිවෙත් මතයි. ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පහත සඳහන් විදිහේ උත්සවත් සමරන්නේ නැහැ.

    •  ක්වන්සා. “ක්වන්සා” කියන නම හැදිලා තියෙන්නේ “‘මටුන්ඩා යා ක්වන්සා’ කියන ස්වහීලී භාෂාවේ වචනවලින්. ඒකේ අදහස තමයි ‘මුලින්ම නෙළාගන්න පලදාව’ කියන එක. ‘ක්වන්සා’ කියන්නේ ආගමික උත්සවයක් නෙමෙයි කියලා සමහරු කියනවා. ඒත් අප්‍රිකාවේ ජීවත් වුණ මිනිසුන් අතීතයේදී ‘මුලින්ම නෙළාගන්න පලදාව’ පූජා කිරීමට පවත්වපු උත්සවයක් මතයි මේ ‘ක්වන්සා’ කියන උත්සවය පදනම් වෙන්නේ.” (Encyclopedia of Black Studies) එක විශ්වකෝෂයකට අනුව ඒ උත්සවයේදී ‘මුල්ම පලදාව දෙවිවරුන්ට සහ මිය ගිය මුතුන්මිත්තන්ට ස්තුති කිරීමක් විදිහට පූජා කළා. ඇමරිකාවේ ඉන්න අප්‍රිකානු සම්භවයක් තියෙන මිනිසුන් පවත්වන මේ “ක්වන්සා” කියන උත්සවයේ තියෙන්නෙත් දෙවිවරුන්ට හා මිය ගිය මුතුන්මිත්තන්ට ස්තුති කිරීම සඳහා කරන චාරිත්‍ර වාරිත්‍රයි.’—Encyclopedia of African Religion.

      “ක්වන්සා”

    •  සරත් සෘතුව මැදදී පවත්වන උත්සවය. සැප්තැම්බර් මාසයේදී හරි ඔක්තෝබර් මාසයේදී හරි සමරන මේ උත්සවය “සඳ දේවතාවියට වන්දනාමාන කිරීම පිණිස පවත්වන එකක්.” (Holidays, Festivals, and Celebrations of the World Dictionary) නිවසේ සිටින කාන්තාවන් හිස නමා සඳ දේවතාවියට නමස්කාර කිරීමේ චාරිත්‍රයක් මේ උත්සවයට ඇතුළත් වෙනවා.—Religions of the World—A Comprehensive Encyclopedia of Beliefs and Practices.

    •  නවුරුස්. ‘මේ උත්සවයේ මූලාරම්භය සරතුස්ත්‍රවාදය කියන ආගමට සම්බන්ධයි. සරතුස්ත්‍රවාදීන් විශ්වාස කරන විදිහට ශීත සෘතුවට අධිපති දෙවියා විසින් [රපිත්වින් කියලා හඳුන්වන] දවල් කාලයට අධිපති දෙවියාව ශීත කාලයේදී පොළොව යටට පන්නලා දානවා. “නවුරුස්” උත්සවය පවත්වන දවසේ මධ්‍යාහ්න කාලයේදී පොළොව යට හිටපු දෙවියාව උත්සවශ්‍රීයෙන් නැවත පිළිගැනීම සිද්ධ වුණා. එයාලා ඒ දිනය අවුරුද්දේ අතිශුද්ධ දිනය විදිහට හැඳින්නුවා.’—United Nations Educational, Scientific and Cultural Organization.

    •  ශාබ් එ යල්ඩා. පෘථිවියේ උතුරු අර්ධගෝලයට අඩුවෙන්ම හිරු එළිය පතිත වෙන දවසේදී තමයි මේ උත්සවය සමරන්නේ. ඒක වැටෙන්නේ දෙසැම්බර් මාසයේ දවසක. එක පොතක සඳහන් වෙන විදිහට ඒ උත්සවය “මිත්‍රා කියලා හඳුන්වන ආලෝකයට අධිපති දෙවියාට කරන නමස්කාරයට සම්බන්ධයි.” (Sufism in the Secret History of Persia) ඒ වගේම රෝමවරුන් සහ ග්‍රීකවරුන් හිරු දෙවියාට කරපු නමස්කාරයටත් මේ උත්සවය සම්බන්ධයි කියලා සමහරු විශ්වාස කරනවා. b

    •  ස්තුතිය පුද කිරීමේ උත්සවය. “ක්වන්සා” උත්සවය වගේ මේ උත්සවයත් ආරම්භ වෙලා තියෙන්නේ අස්වැන්නේ මුල්ම පලදාව විවිධ දෙවිවරුන්ට පූජා කිරීම මුල් කරගෙනයි. “කාලයත් එක්කම ඒ ඉපැරණි චාරිත්‍ර වාරිත්‍ර පල්ලිය විසින් ක්‍රිස්තියානි ආගමට ඇතුල් කරගත්තා.”—A Great and Godly Adventure—The Pilgrims and the Myth of the First Thanksgiving.

     මිථ්‍යා විශ්වාසයන් මත පදනම් උත්සව සහ වාසනාව උදා කරගැනීමේ අරමුණින් සමරන උත්සව. බයිබලයේ සඳහන් වෙනවා “වාසනාවේ දෙවියන්ට මේසයක් සූදානම් කළ” අයව යෙහෝවා දෙවියන් සැලකුවේ තමන්ව “එපා කළ සෙනඟක්” හැටියටයි කියලා. (යෙසායා 65:11) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පහත සඳහන් උත්සව සමරන්නේ නැහැ.

    •  ඉවාන් කුපාලා. “මේ උත්සව සමයේදී ස්වභාවධර්මය අද්භූත බලයක් මුදාහරිනවා කියලත් නිර්භීත සහ වාසනාවන්ත අයට ඒ බලය ලබාගන්න පුළුවන් කියලත් හුඟදෙනෙක් විශ්වාස කරනවා” කියලා පොතක සඳහන් වෙනවා. (The A to Z of Belarus) මේ උත්සවයේ මූලාරම්භය පෘථිවියේ උතුරු අර්ධගෝලයට වැඩිම වෙලාවක් සූර්යාලෝකය ලැබෙන දිනයේදී පවත්වපු මිථ්‍යා ආගමික උත්සවයකට සම්බන්ධයි. එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “මිථ්‍යා ආගම්වල හිටපු අය පස්සේ කාලෙක ක්‍රිස්තියානි ආගමට හැරුණාම ඒ මිථ්‍යා ආගමික උත්සවය පල්ලියෙන් [සාන්තුවරයෙක් විදිහට හඳුන්වන යොහන් බව්තිස්ත වෙනුවෙන්] පවත්වපු උත්සවයකට එකතු කරගත්තා.”—Encyclopedia of Contemporary Russian Culture.

    •  චන්ද්‍ර නව වසර (චීන නව වසර හෝ කොරියානු නව වසර). “මේ උත්සවය පවත්වන කාලයේදී හැමෝම අවධානය දෙන්නේ නව වසර තුළ වාසනාව උදා කරගැනීමට සහ දෙවිවරුන්ට වගේම භූතයන්ට ගරුබුහුමන් දැක්වීමටයි.” (Mooncakes and Hungry Ghosts—Festivals of China) කොරියානු නව වසරත් ඒ හා සමානයි. ඒ උත්සවයට “මිය ගිය මුතුන්මිත්තන්ට නමස්කාර කිරීම, නපුරු බලවේග පන්නලා දැමීම සහ අලුත් අවුරුද්ද සඳහා වාසනාව උදා කරගැනීමට විවිධ දේවල් කිරීම ඇතුළත් වෙනවා. ඒ වගේම නව වසර සුබද අසුබද කියලා දැනගන්න කොරියානුවන් නිමිති බලනවා.”—Encyclopedia of New Year’s Holidays Worldwide.

      චීන නව වසර

     මරණයෙන් පස්සේ අමරණීය ආත්මයක් ඉතුරු වෙනවා කියන විශ්වාසය පදනම් කරගෙන සමරන උත්සව. මිය ගියාට පස්සේ අමරණීය ආත්මයක් කියන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා බයිබලයේ පැහැදිලිවම සඳහන් වෙනවා. (එසකියෙල් 18:4) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අමරණීය ආත්මය කියන විශ්වාසය මත පදනම් උත්සව පවත්වන්නේවත් ඒවාට සහභාගි වෙන්නේවත් නැහැ. ඒවායින් කීපයක් දැන් බලමු.

    •  මළවුන්ගේ දවස. එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. ‘මේ උත්සවය පවත්වන්නේ මිය ගිය අයව සිහි කිරීම වෙනුවෙන්. ඒ දවසේදී මිය ගිය අය ශුද්ධගිනිස්ථානයේ සිට පිටතට ඇවිත් ජීවත්ව හිටිය කාලයේදී ඔවුන්ට සතුරුකම් කරපු අය ඉදිරියේ අවතාර, මායාකරුවන්, මැඩියන් වගේ ස්වරූපවලින් පෙනී සිටිනවා කියලා මධ්‍යකාලීන යුගයේ සිටම බොහෝ අය විශ්වාස කරනවා.’—New Catholic Encyclopedia.

    •  චිංමිං උත්සවය සහ ප්‍රේතයන් වෙනුවෙන් පවත්වන උත්සවය. මේ උත්සව දෙක සමරන්නේ මිය ගිය මුතුන්මිත්තන්ට ගෞරව කිරීමක් විදිහටයි. “චිංමිං” උත්සවයේදී “මිය ගිය අයට කෑම බීමවලින් සහ මුදල්වලින් අඩුවක් නොවෙන්න කියලා හිතාගෙන ආහාරපාන වර්ග සහ මුදල් නෝට්ටු පුච්චනවා” කියලා පොතක සඳහන් වෙනවා. (Celebrating Life Customs Around the World—From Baby Showers to Funerals) ඒ පොතේ මෙහෙමත් කියනවා “බඩගින්නේ ඉන්න ප්‍රේතයන් වෙනුවෙන් උත්සවය පවත්වන මාසයේ පුරහඳ පායන රාත්‍රිය විශේෂයි. මොකද මිය ගිය අය, ජීවත් වෙලා ඉන්න අයට වැඩියෙන්ම බලපෑම් කරන්නේ ඒ රාත්‍රියේදී කියලා [ඒ උත්සවය පවත්වන අය] විශ්වාස කරනවා. ඒ නිසා ඒ රාත්‍රියේදී මිය ගිය අයව කෝප කරන්නේ නැතුව ඉන්නත් මිය ගිය මුතුන්මිත්තන් වෙනුවෙන් ගරුබුහුමන් දක්වන්නත් පියවර ගන්නවා.”

    •  චුසෝක්. එක පොතක මෙහෙම කියනවා. ‘මේ උත්සවයේදී මිය ගිය අයගේ ආත්මවලට ආහාර සහ වයින් පූජා කරනවා. එහෙම කරන්නේ කෙනෙක් මිය යද්දී ශරීරය මැරුණත් නොමැරී පවතින ආත්මයක් ඉතුරු වෙනවා කියන විශ්වාසය නිසයි.’—The Korean Tradition of Religion, Society, and Ethics.

     අද්භූත දේවල් ඇතුළත් උත්සව. බයිබලයේ මෙහෙම කියනවා. ‘පේන කියන්නවත් මන්තර ගුරුකම් කරන්නවත් නැකත් බලන්නවත් මායා බලයෙන් දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. කොඩිවින සහ හදිහූනියම් කරන්නවත් කට්ටඩියෙකුගේ හෝ ශාස්ත්‍ර බලන කෙනෙකුගේ උපකාර ලබන්නවත් මළවුන්ගෙන් තොරතුරු විචාරන්නවත් කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි. එවැනි දේවලට හවුල් වන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්.’ (ද්විතීය කතාව 18:10-12) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ උපදෙස අදාළ කරගන්න නිසා පේන කියන, නැකත්වලට අනුව විවිධ කටයුතු කරන සහ ජ්‍යෝතිශය සම්බන්ධ කරගෙන පවත්වන උත්සව සමරන්නේවත් ඒවාට සහභාගි වෙන්නේවත් නැහැ. හැලොවීන් උත්සවය ඒ වගේ උත්සව අතරින් එකක්. තවත් උත්සව දෙකක් ගැන අපි දැන් බලමු.

    •  සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය. “මේ උත්සවයේ චාරිත්‍ර පවත්වන්නේ ජ්‍යෝතිශය අනුව නියම කරගත් වෙලාවල් සහ නැකත්වලට අනුවයි.’—Encyclopedia of Sri Lanka.

    •  සොංක්‍රාන්. මෙය ආසියානු රටවල පවත්වන උත්සවයක්. “සොංක්‍රාන් කියන සංස්කෘත වචනයෙන් ‘වෙනස් වීම’ හෝ ‘මාරු වීම’ කියන දේ අදහස් වෙනවා. සූර්යයා මේෂ රාශියට පැමිණීම සමරන්නයි මෙම උත්සවය පවත්වන්නේ.”—Food, Feasts, and Faith—An Encyclopedia of Food Culture in World Religions.

     යේසුස්ගේ ජීවිත පූජාව නිසා අවලංගු වුණ මෝසෙස්ගේ නීතිය යටතේ පවත්වන්න කියා නියම කර තිබූ උත්සව. “ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය” කියලා බයිබලයේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. (රෝම 10:4) දෙවියන් මෝසෙස්ට නීතිය දුන්නේ පුරාණ ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන්. එහි සඳහන් ප්‍රතිපත්ති අදටත් ප්‍රයෝජනවත් වුණත් අද අපි ඒ නීතිය යටතේ නැහැ. නීතියේ සඳහන් උත්සව, විශේෂයෙන් ගැලවුම්කරුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පවත්වපු උත්සව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පවත්වන්නේ නැහැ. මොකද ගැලවුම්කරු දැනටමත් පැමිණ ඇති බව ක්‍රිස්තියානීන් හැටියට ඒ අය විශ්වාස කරනවා. ඒ නිසා ඒ වගේ උත්සව තවදුරටත් පැවැත්වීම අවශ්‍ය නැහැ. බයිබලයේ කියන්නේ නීතියේ සඳහන් දේවල් “පැමිණීමට තිබූ සැබෑ දේ වන ක්‍රිස්තුස් පිළිබඳ ඡායාවක් පමණි” කියලයි. (කොලොස්සි 2:17) ඊට අමතරව අද පවත්වන ඒ වගේ ගොඩක් උත්සවවලට බයිබලයට පටහැනි චාරිත්‍ර එකතු කරගෙන තිබෙන නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ උත්සව සමරන්නේ නැහැ. ඒ වගේ උත්සව කීපයක් ගැන පහත සඳහන් වෙනවා.

    •  හනූකා. මේ උත්සවය පවත්වන්නේ යෙරුසලමේ තිබූ දේවමාලිගාව නැවත දෙවියන්ට කැප කරපු අවස්ථාව සමරන්නයි. අතීතයේදී මිනිසුන් දෙවියන්ට නමස්කාර කරන්න දේවමාලිගාවට ගියා. ඒත් යේසුස්ගේ ජීවිත පූජාවෙන් පස්සේ එදා තිබුණ දේවමාලිගාව වෙනුවට දෙවියන්ට නමස්කාර කරන්න ඊට වඩා උසස් සැලැස්මක් දෙවියන් ඇති කළා. බයිබලයේ කියනවා “මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම [දේවමාලිගාව] තුළට” උත්තම පූජකයා විදිහට යේසුස් ඇතුල් වුණා කියලා.—හෙබ්‍රෙව් 9:11.

    •  රොෂ් හෂානහ්. යුදෙව් දින දර්ශනයේ පළවෙනි දවස නම් කරලා තියෙන්නේ “රොෂ් හෂානහ්” කියලා. ඒ දිනයේදී දෙවියන් වෙනුවෙන් පූජා ඔප්පු කළා. (ගණන් කතාව 29:1-6) ඒත් යේසුස් තමන්ගේ ජීවිතය පූජා කළාට පස්සේ “සත්ව පූජා හා තෑගි පූජා ඔප්පු කිරීම ඔහු නවත්වන්නේය” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දානියෙල් 9:26, 27) ඒ නිසා දෙවියන් තවදුරටත් එවැනි පූජා පිළිගන්නේ නැහැ.

  •   මේ උත්සවය විවිධ ආගම්වල අය එකට එකතු වෙලා දෙවියන් අදහන්න දිරිගන්වන උත්සවයක්ද?

     බයිබල් ප්‍රතිපත්තිය: “දෙවිට සේවය කරන්නෙකු හා දෙවිට සේවය නොකරන කෙනෙකු අතර බැඳීමක් තිබිය හැකිද? දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?”—2 කොරින්ති 6:15-17.

     යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අයත් එක්ක එකමුතුව ජීවත් වෙන්න කැමති සෙනඟක්. ඒ වගේම එයාලා අනිත් අයගේ විශ්වාසයන්වලට ගරු කරනවා. ඒත් විවිධ ආගම්වල අය එකට එකතු වෙලා ආගමික වත්පිළිවෙත් පවත්වමින් සමරන උත්සවවලට එයාලා කිසිම විදිහකින් සම්බන්ධ වෙන්නේ නැහැ.

     ප්‍රසිද්ධ ආගමික නායකයන් සහ විශේෂ ආගමික දින මුල් කරගෙන විවිධ ආගම්වල අය එකතු වී පවත්වන උත්සව සහ සැමරීම්. දෙවියන් තමන්ගේ සෙනඟව අලුත් දේශයකට අරන් යද්දී ඒ දේශයේ සිටි වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ අය ගැන මේ වගේ අනතුරු ඇඟවීමක් දුන්නා. ‘ඔබ ඔවුන් සමඟවත් ඔවුන්ගේ දෙවිවරුන් සමඟවත් කිසි ගිවිසුමක් ඇති කර නොගත යුතුයි. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.’ (නික්මයාම 23:32, 33) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හවුල් වෙන්නේ නැති ඒ වගේ උත්සව කීපයක් දැන් අපි බලමු.

    •  ලෝයි ක්‍රතොං. මෙම උත්සවය පවත්වන්නේ “බුදුන්ගේ පැමිණීම සිහි කිරීමටයි. තායිලන්තයේ පවත්වන මෙම උත්සවයේදී මිනිසුන් ගස්වල කොළ යොදාගෙන විවිධ බඳුන් සාදා ඒවා තුළට ඉටිපන්දම් හෝ හඳුන්කූරු වැනි දේවල් ගසා ඒවා වතුරේ පා කර යවනවා. එහෙම පා කරලා යවන බඳුන් සමඟ සියලු වස්දොස් පා වෙලා යනවා කියලයි ඔවුන් විශ්වාස කරන්නේ.”—Encyclopedia of Buddhism.

    •  ජාතික පසුතැවිලි වීමේ දිනය. පැපුවා නිව් ගිනියාවේ පුවත්පතකට අදහස් දක්වමින් එක් රජයේ නිලධාරියෙක් මෙහෙම කිව්වා. මෙම උත්සවය පවත්වන්නේ ‘පව්වලට දෙවියන්ගෙන් සමාව ලබාගැනීමේ අරමුණ ඇතුවයි. මේ දිනයේදී ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට අනුව යහපත් ජීවිතයක් ගත කරන්න මිනිසුන්ට දිරිගැන්වීමක් ලබා දෙනවා.’—The National.

    •  වෙසක්. “මේ උත්සවය බෞද්ධයන්ගේ ප්‍රධානතම උත්සවයයි. බුදුන්ගේ ඉපදීම, බුදු වීම සහ පිරිනිවන් පෑම සිහි කරන්නයි වෙසක් උත්සවය පවත්වන්නේ.”—Holidays, Festivals, and Celebrations of the World Dictionary.

      වෙසක්

     බයිබලයට පටහැනි ආගමික වත්පිළිවෙත් සහ සම්ප්‍රදායන් ඇතුළත් උත්සව. යේසුස් මේ පොළොවේ සිටියදී ආගමික නායකයන්ට මෙහෙම කිව්වා. “ඔබ, ඔබේ සම්ප්‍රදායන් නිසා දෙවිගේ වචනය අවලංගු කර තිබෙනවා.” ඒ වගේම “ඔවුන් දෙවිගේ ඉගැන්වීම් ලෙස උගන්වන්නේ මිනිසුන්ගේ ආඥා” නිසා ඔවුන් කරන නමස්කාරයෙන් පලක් නැහැ කියලත් යේසුස් ඔවුන්ට කිව්වා. (මතෙව් 15:6, 9) යේසුස් කිව්ව දේ අදාළ කරගන්න අය විදිහට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමරන්නේ හෝ සහභාගි වෙන්නේ නැති ඒ වගේ උත්සව කීපයක් පහත සඳහන් වෙනවා.

    •  රජ තුන් කට්ටුවේ මංගල්‍යය (එපෆනි). යේසුස් ඉපදුණාම ජ්‍යෝතිඃ ශාස්ත්‍රඥයන් තුන්දෙනා ඔහුව බලන්න ගිය අවස්ථාව හෝ යේසුස්ගේ බව්තීස්ම වෙච්ච අවස්ථාව සිහි කරන්න මෙම උත්සවය සමරනවා. මේ උත්සවයේදී පවත්වන “චාරිත්‍ර සමහරක් අසත්‍යය උගන්වන ආගම්වල විශ්වාසයන් මත පදනම් ඒවායි. උදාහරණෙකට සමහරක් චාරිත්‍ර ගංගා සහ දිය පහරවල්වලට අධිපති දෙවිදේවතාවන්ට වන්දනාමාන කිරීම සඳහා පවත්වන ඒවායි.” (The Christmas Encyclopedia) “ටිම්කැට්” උත්සවයත් ඒ හා සමාන “සම්ප්‍රදායන් ඇතුළත් උත්සවයක්.”—Encyclopedia of Society and Culture in the Ancient World.

    •  කන්‍ය මරියා ස්වර්ගාරෝහණය වීමේ මංගල්‍යය. යේසුස්ගේ මව වූ මරියා මනුෂ්‍ය ශරීරයක් සහිතව ස්වර්ගයට යෑම සැමරීමටයි මේ උත්සවය පවත්වන්නේ. ඒ ගැන එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් ඒ වගේ දෙයක් සමරලා නැහැ. ඒ වගේම එවැනි දෙයක් ගැන බයිබලයේ කිසිම තැනක සඳහන් වෙන්නෙත් නැහැ.”—Religion and Society—Encyclopedia of Fundamentalism.

    •  නිර්මල පිළිසිඳගැනීමේ මංගල්‍යය. “මරියාගේ කුසේ යේසුස් පිළිසිඳගත් අවස්ථාවේ ඉඳන් මරියාට උපතින් උරුම වුණ පාපය නැති වුණා කියන ඉගැන්වීම දේවවචනයේ සඳහන් ඉගැන්වීමක් නෙමෙයි. ඒක කතෝලික සභාවේ ඉගැන්වීමක්.”—New Catholic Encyclopedia.

    •  චතාරික කාලය. “මෙය ආරම්භ වුණේ ක්‍රි.ව. 4වෙනි සියවසේ” ඒ කියන්නේ බයිබලය ලියා අවසන් කර අවුරුදු 200කට වඩා වැඩි කාලයකට පසුව කියලා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා. (New Catholic Encyclopedia) මේ චාරිත්‍රය පවත්වන අය දවස් ගාණක් නිරාහාරව සිටිනවා. “අළු බදාදා දවසින් ආරම්භ වන චතාරික කාලය 1091දී කතෝලික පල්ලිය විසින් ආරම්භ කළ එකක්” කියලත් ඒ විශ්වකෝෂයේම සඳහන් වෙනවා.

    •  මෙස්කෙල් (මස්කල්). මේ උත්සවය සමරන්නේ ඉතියෝපීය ජාතිකයන්. එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “යේසුස්ව ඇණ ගැසූ කුරුසය හොයාගත්ත දිනය විදිහට එයාලා ඒ උත්සවය සමරනවා. ගිනිමැලයක් දල්වලා ඒ වටේට නටන චාරිත්‍රයක් ඒ උත්සවයට ඇතුළත්.” (Encyclopedia of Society and Culture in the Medieval World) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කටයුතුවලදී කුරුසය භාවිත කරන්නේ නැහැ.

  •   මේ උත්සවයෙන් පුද්ගලයෙක්ට, සංවිධානයකට හෝ ලාංඡනයකට ගරුබුහුමන් දක්වනවාද?

     බයිබල් ප්‍රතිපත්තිය: “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘යෙහෝවා දෙවි වන මාගෙන් ඈත් වී මනුෂ්‍යයන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ගේ ශක්තිය මත රඳා සිටින තැනැත්තා ශාප ලද්දෙක් වන්නේය.’”—යෙරෙමියා 17:5.

     යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අනිත් අය කරන දේවල් අගය කරනවා. අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒත් මේ සමාජයේ සමහර මිනිසුන්ව මහ ඉහළින් සලකලා එයාලට ගරුබුහුමන් දක්වන්න පවත්වන උත්සව සමරන්නේවත් ඒවාට සහභාගි වෙන්නේවත් නැහැ. මොනවාද ඒ උත්සව? අපි කිහිපයක් බලමු.

     ජන නායකයෙක්ට හරි සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක්ට හරි ගරුබුහුමන් දක්වන උත්සව. බයිබලයේ මෙහෙම කියනවා. “මිනිසා කෙරෙහි විශ්වාසය නොතබන්න. ක්ෂණයකින් හුස්ම නික්ම වී යන මිනිසා කෙරෙහි විශ්වාසය තැබීමෙන් පලක් තිබේද?” (යෙසායා 2:22) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්නවා. උදාහරණයකට එයාලා රටේ නායකයාගේ උපන් දිනය සමරන්නේවත් ඒ වෙනුවෙන් සංවිධානය කරලා තියෙන දේවලට හවුල් වෙන්නේවත් නැහැ.

     ජාතික කොඩියට ආචාර කරන උත්සව. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කොඩි දිනය පවත්වන්නේ නැහැ. මොකද බයිබලයේ කියන්නේ “දේවතා රූපවලින් වැළකී සිටින්න” කියලයි. (1 යොහන් 5:21) සමහරු හිතනවා කොඩිය කියන්නේ දේවතා රූපයක් නොවන නිසා ඒකට ආචාර කළාට කමක් නැහැ කියලා. ඒත් “ජාතියක් සතු උසස්ම සංකේතය සහ ජාතියක් නමස්කාර කරන ප්‍රධානම දේ ජාතික කොඩියයි” කියලා ඉතිහාසඥයෙක් වන කාල්ටන් ජේ. එච්. හේස් කිව්වා.

     සාන්තුවරයෙකුට ගරුබුහුමන් දැක්වීම සඳහා පවත්වන උත්සව. අතීතයේදී එක අවස්ථාවක මිනිසෙක් යේසුස්ගේ නියෝජිතයෙක් වුණ පේතෘස් ඉස්සරහා වැඳ වැටුණා. ඒ වෙලාවේ පේතෘස් මොකක්ද කළේ? “පේතෘස් ඔහුව නැඟිටුවා, ‘නැඟිටින්න. මමත් ඔබ හා සමාන මිනිසෙක්’” කියලා එයාට කිව්වා. (ක්‍රියා 10:25, 26) පේතෘස්වත් යේසුස්ගේ වෙනත් කිසිම නියෝජිතයෙක්වත් කිසිම කෙනෙක්ගේ විශේෂ සැලකිල්ල හෝ නමස්කාරය බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා සාන්තුවරුන් කියලා හඳුන්වන පිරිසට ගරුබුහුමන් දැක්වීම සඳහා පවත්වන උත්සවවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහභාගි වෙන්නේ නැහැ. ඒ වගේ උත්සවවලින් කීපයක් ගැන දැන් බලමු.

    •  සාන්තුවරුන්ගේ දිනය. “මේ උත්සවය පවත්වන්නේ සියලුම සාන්තුවරුන්ට නමස්කාර කරන්නයි. ඒක ආරම්භ වුණේ කොහොමද කියන එක ගැන තොරතුරු නැහැ.”—New Catholic Encyclopedia.

    •  ෆියෙස්ටා ඔෆ් අවර් ලේඩි ඔෆ් ග්වාඩලූප්. මේ උත්සවය සමරන්නේ “මෙක්සිකෝවේ ප්‍රධාන සාන්තුවරියට” නමස්කාර කරන්නයි. ඇය යේසුස්ගේ මව වන මරියා කියලා සමහරු විශ්වාස කරනවා. 1531දී ඇය ආශ්චර්යවත් විදිහට ගැමියෙක් ඉදිරියේ පෙනී සිටියා කියලා විශ්වාස කෙරෙනවා.—The Greenwood Encyclopedia of Latino Literature.

      “ෆියෙස්ටා ඔෆ් අවර් ලේඩි ඔෆ් ග්වාඩලූපේ”

    •  නම තැබීමේ උත්සවය. “දරුවෙක්ට බව්තීස්මයේදී සාන්තුවරයෙක්ගේ නමක් ලැබෙනවා. ඒ සාන්තුවරයාගේ උපන් දිනය සමරන උත්සවයට තමයි නම තැබීමේ උත්සවය කියලා කියන්නේ. මේ දවසේ මිනිසුන් ආගමික වත්පිළිවෙත් අනුගමනය කරනවා” කියලා එක පොතක සඳහන් වෙනවා.—Celebrating Life Customs Around the World—From Baby Showers to Funerals.

     දේශපාලන හා සමාජ විප්ලව සැමරීම වෙනුවෙන් පවත්වන උත්සව. “මනුෂ්‍යයන් මත රඳා සිටිනවාට වඩා යෙහෝවා දෙවිගෙන් ආරක්ෂාව පැතීම යහපත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 118:8, 9) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කාන්තා දිනය සහ යොවුන් දිනය සමරන්නේ නැත්තේ මේ සමාජයේ තියෙන ප්‍රශ්න විසඳන්න මිනිසුන්ට බැහැ කියලත් ඒ ප්‍රශ්න විසඳන්න පුළුවන් දෙවියන්ට විතරයි කියලත් එයාලා විශ්වාස කරන නිසයි. සමහර රටවල් වහල් සේවය අත්හිටවපු දිනය සමරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඒ දිනය සමරන්නේ නැත්තෙත් අපි මුලින් බලපු හේතුව නිසාමයි. ජාතිවාදයට සහ මිනිසුන් අතරේ තියෙන උස් පහත් භේදයට විසඳුම ලැබෙන්නේ දෙවියන්ගේ ආණ්ඩුවෙන් විතරයි කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරනවා.—රෝම 2:11; 8:21.

  •   මේ උත්සවය එක ජාතියක්, ජන කොට්ඨාසයක් අනිත් අයට වඩා උසස් කියලා පෙන්වන්න උත්සාහ කරනවාද?

     බයිබල් ප්‍රතිපත්තිය: “දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන බව මට දැන් හොඳට තේරෙනවා. මන්ද කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.”—ක්‍රියා 10:34, 35.

     යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට තමන් ජීවත් වෙන රට ගැන හැඟීමක් තියෙනවා. ඒත් එයාලා යම් ජාතියක්, ජන කොට්ඨාසයක් අනිත් අයට වඩා උසස් කියලා පෙන්වන උත්සව සමරන්නේ නැහැ. ඒවායින් කීපයක් දැන් බලමු.

     යුධ හමුදාවට උත්තමාචාර පිරිනමන උත්සව. යේසුස් යුද්ධවලට අනුබල දුන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කිව්වේ “ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න කියායි. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න” කියලයි. (මතෙව් 5:44) ඒ උපදෙස අදාළ කරගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සොල්දාදුවන්ට උත්තමාචාර පිරිනමන උත්සව සමරන්නේවත් ඒවාට සහභාගි වෙන්නේවත් නැහැ. ඒ වගේ උත්සව දෙකක් පහත සඳහන් වෙනවා.

    •  ඇන්සක් ඩේ. ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ වැසියන් මේ දිනය සමරන්නේ යුද්ධයට සම්බන්ධ වුණ සියලුම ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ජාතිකයන්ව සිහි කරන්නයි.—Historical Dictionary of Australia.

    •  වෙටරන්ස් ඩේ (අනුස්මරණය කිරීමේ දවස, අනුස්මරණය කිරීමේ ඉරු දින). මේ දිනයේදී “විශ්‍රාමික සොල්දාදුවන්ට සහ යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ට උපහාර පිරිනමනවා.”—Encyclopædia Britannica.

     යම් ජාතියක ඉතිහාසයේ වැදගත් දිනයක් නැත්නම් නිදහස ලැබූ දිනය සමරන උත්සව. යේසුස් ඔහුගේ ගෝලයන් ගැන මෙහෙම කිව්වා. “මම මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා වගේම ඔවුනුත් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවී සිටිනවා.” (යොහන් 17:16) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටක ඉතිහාසය ගැන දැනගන්න කැමති වුණත් ඔවුන් පහත සඳහන් ආකාරයේ උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ.

    •  ඕස්ට්‍රේලියා ඩේ. “මේ උත්සවය සමරන්නේ 1788 එංගලන්තයේ හමුදාව ඕස්ට්‍රේලියාව අලුත් යටත් විජිතයක් විදිහට නම් කරපු එක සිහි කරන්නයි.”—Worldmark Encyclopedia of Cultures and Daily Life.

    •  ගයි ෆෝක්ස් දිනය. “1605දී [එංගලන්තයේ] 1වෙනි ජේම්ස් රජ සහ ආණ්ඩුවේ ඇමතිවරුන් හිටපු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල විනාශ කරලා එයාලව මරලා දාන්න ගයි ෆෝක්ස් සහ වෙනත් කතෝලිකයන් උත්සාහ කළා. ඒත් එයාලා අසාර්ථක වුණා. මේ උත්සවය සමරන්නේ එයාලගේ අසාර්ථක උත්සාහය සිහි කිරීමටයි.”—A Dictionary of English Folklore.

    •  නිදහස් දිනය. හුඟක් රටවල් “තමන්ගේ රට තවත් රටකින් නිදහස ලැබීම සමරන්නේ මේ දවසේදී.”—Merriam-Webster’s Unabridged Dictionary.

  •   මේ උත්සවයට නොහික්මුණු විදිහට හැසිරීම සහ දුරාචාරය ඇතුළත්ද?

     බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ දෙවිව නාඳුනන මේ සමාජයේ මිනිසුන් කැමති දේවල් කරමින් ඇති තරම් කාලයක් ජීවත් වී ඇත. ඒ කාලයේදී ඔබ නින්දිත ලෙස හැසිරෙමින් කාමාශාවෙන්ද අධික වයින් පානයෙන්ද ඝෝෂාකාරී උත්සවවලට හවුල් වීමෙන්ද තරඟයට මත්පැන් බීමෙන්ද රූප වන්දනාවට සම්බන්ධ පිළිකුල්සහගත ක්‍රියා කරමින්ද සිටියහුය.”—1 පේතෘස් 4:3.

     ඒ ප්‍රතිපත්තිය අදාළ කරගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙරි වෙන කල් මත්පැන් පානය කරන, දුරාචාරයේ යෙදෙන සාද ඇතුළත් උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ මිතුරන් එක්ක සාද පවත්වලා සතුටක් ලබනවා. ඒත් ඒවා නොහික්මුණු ස්වාභාවයක් ගන්නේ නැහැ. එයාලා මත්පැන් පානය කරන්නේ තමන්ගේ සීමාව හොඳින් දැනගෙනයි. “ඔබ කෑවත් බීවත් වෙන කිසිවක් කළත් සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න” කියන බයිබල් ප්‍රතිපත්තියට එකඟව කටයුතු කරන්න ඔවුන් ලොකු වෑයමක් ගන්නවා.—1 කොරින්ති 10:31.

     ඒ නිසා ඔවුන් බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි, පහත් දේවල් ඇතුළත් කානිවල්වලට සහ විවිධ උත්සවවලට සහභාගි වෙන්නේ නැහැ. යුදෙව්වන් සමරන පුරීම් උත්සවයත් ඒ වගේ උත්සවයක්. ක්‍රි.පූ. පස්වෙනි සියවසේදී යුදෙව්වන් වහල්භාවයෙන් නිදහස් වුණ එක සමරන්නයි මේ උත්සවය ආරම්භ වුණේ. එත් දැන් යුරෝපයේ සමරන “‘මාඩි ග්‍රා’ කියන උත්සවයේම යුදෙව් උත්සවය විදිහට යුදෙව්වන් ඒ උත්සවය හඳුන්වනවා” කියලා පොතක සඳහන් වෙනවා. (Essential Judaism) “ඒ උත්සවයේදී පිරිමි අය ගැහැනු අය වගේ ඇඳගෙන ඉන්නවා, නොහික්මුණු විදිහට හැසිරෙනවා, අධික ලෙස මත්පැන් පානය කරනවා සහ ඉවක්බවක් නැතුව ඝෝෂා කරනවා” කියලා ඒ පොතේම සඳහන් වෙනවා.

 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යම් උත්සව සමරන්නේ නැති එකෙන් අදහස් වෙනවාද එයාලා පවුලේ අය ගැන සැලකිලිමත් නැහැ කියලා?

 නැහැ. අපේ පවුලේ අය මොන ආගම ඇදහුවත් ඒ අයට ආදරය, ගෞරවය දක්වන්න කියලා බයිබලයේ උනන්දු කරනවා. (1 පේතෘස් 3:1, 2, 7) ඒත් ඒ අය සමරන සමහර උත්සවවලට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සහභාගි වෙන්නේ නැති වුණාම එයාලගේ හිත රිදෙන්න පුළුවන්. අපි එයාලව ගණන් ගන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් හුඟදෙනෙක් තමන් ඒ උත්සවවලට සහභාගි වෙන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගේ නෑදෑයන්ට, පවුලේ අයට කාරුණිකව තේරුම් කරලා දෙනවා. ඒ දේවලට සහභාගි වෙන්නේ නැති නිසා එයාලට තියෙන ආදරය අඩු වෙන්නේ නැහැ කියලත් තේරුම් කරලා දෙනවා. ඒ වගේම වෙනත් අවස්ථාවලදී එයාලා නෑදෑයන්ව, පවුලේ අයව බලන්න යනවා. එයාලා එක්ක එකට කාලය ගත කරනවා.

 යම් උත්සව සමරන්න එපා කියලා සාක්ෂිකරුවන් අනිත් අයට කියනවාද?

 නැහැ. උත්සවයක් සමරන එක සහ සමරන්නේ නැතුව ඉන්න එක කෙනෙක්ගේ පුද්ගලික තීරණයක්. (යොෂුවා 24:15) අනිත් අය මොන ආගම ඇදහුවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරනවා.”—1 පේතෘස් 2:17.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමරන්නේ නැති හැම උත්සවයක් ගැනම මේ ලිපියේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම එයාලා අදාළ කරගන්න බයිබල් ප්‍රතිපත්ති හැම එකක්මත් මේ ලිපියට ඇතුළත් කරලා නැහැ.

b Mithra, Mithraism, Christmas Day & Yalda, by K. E. Eduljee, pages 31-33.