Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ වෝර්වික් ව්‍යාපෘතියට එක් වූ අයගේ අදහස්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ වෝර්වික් ව්‍යාපෘතියට එක් වූ අයගේ අදහස්

කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා, කිසිම වැටුපක් නැතුව නිව් යෝර්ක් නගරයේ වෝර්වික්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් ව්‍යාපෘතියට හවුල් වන අයව දැකලා හුඟක් අය පුදුම වෙනවා. ගොඩනැඟිලිවල විදුලි සෝපාන සවි කරපු ආයතනයේ අධ්‍යක්ෂකවරයා මෙහෙම කිව්වා. “ඔයාලාගේ කණ්ඩායමේ අය කරන්නේ හිතාගන්නවත් බැරි විදිහේ වැඩක්. දැන් ඉන්න හුඟක් අය ඔයාලා වගේ තමන්ගේ කාලය කැමැත්තෙන්ම වැය කරන්නේ නැහැ.”

එයා මුලින් හිතුවේ ඒ හැමෝම සෙනසුරාදා සහ ඉරිදා දවස්වල විතරක් ඇවිත් වැඩ කරනවා ඇති කියලයි. වෙන අයත් එහෙම හිතුවා. හැබැයි රටේ විවිධ පළාත්වලින්, තමන්ගේ රස්සාවල් පවා ඇත්හැරලා ආපු සමහරු මාස කිහිපයකට නැත්නම් අවුරුදු කිහිපයකට වැඩ කරනවා කියලා දැනගත්තාම එයාලා පුදුම වුණා.

2015 අවසන් වෙද්දී එක්සත් ජනපදයේ බෙතෙල් පවුලේ අය එක්ක සාක්ෂිකරුවන් 23,000ක් විතර වෝර්වික්වල වැඩ කරලා තිබුණා. ඊට අමතරව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොවන පළපුරුදු ඉදි කිරීම් සේවකයන් 750ක් විතර මේ වැඩවලට හවුල් වුණා. ඒ නිසා එයාලාගේ හිත්වල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන හොඳ පැහැදීමක් ඇති වෙලා තියෙනවා.

වැඩ කරන්න ආස හිතෙන වටපිටාවක්

ජනෙල් සහ බිත්ති සැකසුම් ආයතනයක කළමනාකරුවෙක් මෙහෙම ලිව්වා. “අපේ ආයතනයේ අය ඔයාලාගේ කට්ටිය ගැන පුදුම වෙනවා. ඔයාලා කතාබහ කරන විදිහ, වැඩ කරන විදිහ නිසා අපේ අය ඔයාලා එක්ක වැඩ කරන්න හරි ආසයි.”

තවත් ආයතනයක් නේවාසික ගොඩනැඟිල්ල ඉදි කරන්න සේවකයන් සැපයුවා. ඒ ආයතනයේ කොන්ත්‍රාත්තුව අවසන් වුණාට පස්සෙත් සේවකයන් තුන්දෙනෙක් දිගටම වෝර්වික්වල වැඩ කරන්න කැමැත්තෙන් හිටියා. ඒ නිසා එයාලා ඒ ආයතනයෙන් අස් වෙලා වෝර්වික් ව්‍යාපෘතියට හවුල් වෙලා හිටපු තවත් ආයතනයකට බැඳුණා.

ගොඩනැඟිලිවල අත්තිවාරම් දාපු ආයතනයක සේවකයෙක් මාස කිහිපයක් පුරා වෝර්වික්වල වැඩ කළා. ඒ කාලය පුරා එයා සාක්ෂිකරුවන්ව ආශ්‍රය කරපු නිසා එයාගේ ලොකු වෙනසක් දකින්න තිබුණා. එයා ගෙදරදී කතාබහ කරන විදිහ විතරක් නෙවෙයි හිතන පතන විදිහත් වෙනස් වුණා. ඒ වෙනස එයාගේ බිරිඳට හොඳින්ම තේරුණ නිසා එයා මෙහෙම කිව්වා. “මේ එයාද කියලා මට හිතාගන්නවත් බැහැ.”

“එයාලාගේ ගෑනු අයත් වැඩට එනවා”

ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් කාන්තාවන්. සමහරු බස් එළවනවා, කාමර පිරිසිදු කරනවා, ලිපි ලේඛන වැඩ කරනවා, වාහන තදබදය වළක්වනවා, බර වාහන හසුරුවනවා, ෆයිබර් ඔප්ටික් කේබල් ඔතනවා, වායුසමීකරණ නළ සැකසුම් කරනවා, බිත්ති හදනවා, ජල පද්ධති හදනවා, කොන්ක්‍රීට් දානවා. ඒ හැම වැඩක්ම කරන්න එයාලා හුඟක් මහන්සි වෙනවා.

ස්වාමිපුරුෂයන් සහ භාර්යාවන් බස් එකෙන් බැහැලා අත් අල්ලගෙන වැඩබිමට එන විදිහ සාක්ෂිකරුවෙක් නොවන කාර්මිකයෙක්ගේ අවධානයට ලක් වුණා. ඒ හැම කාන්තාවක්ම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිහත් එයා දැක්කා. එයා මෙහෙම කිව්වා. “මම මුලින් හිතුවේ හස්බන්ඩ්ලා එන නිසා එයාලාගේ වයිෆ්ලත් නිකං එනවා ඇති කියලයි. හැබැයි එයාලත් බැහැලා වැඩ කරනවා. මම නිව් යෝර්ක් නගරයේ හුඟක් ව්‍යාපෘතිවලට ගිහින් තියෙනවා. ඒත් මේ වගේ දෙයක් නම් මම කවදාවත් දැකලා නැහැ.”

2014 සහ 2015 වර්ෂවල සීත කාලයේ වෙනදාට වඩා තද සීතලක් තිබුණා. ඒ වගේ කාලවල සීතලේ ගැහිගැහී වැඩ කරනවාට වඩා ගෙදර ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඉදි කිරීම් වැඩ අධීක්ෂණය කරපු ජෙරමි කියන සහෝදරයා මෙහෙම කිව්වා. “තද සීතල දවස්වල ඉදි කිරීම් ආයතනයක මූලිකයෙක් මගෙන් ඇහුවා ‘හෙට ඔයාලාගේ ගෑනු කට්ටියත් වැඩට එනවාද’ කියලා

“‘ඔව්.’

“‘එළියේ ඉඳන් ට්‍රැෆික් වැඩේ කරන අයත් එයිද?’

“‘ඔව්.’

“පස්සේ තමයි මගෙන් එහෙම ඇහුවේ ඇයි කියලා එයා මට කිව්වේ. ‘එයාලාගේ ගෑනු අයත් වැඩට එන නිසා ඔයාලත් වැඩට එන්න ඕනේ’ කියලා එයා එයාගේ සේවකයන්ට කියලා තියෙනවා.”

බස් ඩ්‍රයිවර්ලත් ආසාවෙන් වැඩ කළා

නවාතැනේ ඉඳලා වෝර්වික්වලට වැඩ කරන අයව ගෙනියන්නයි ගේන්නයි බස් ඩ්‍රයිවර්ලා 35කට වඩා වැඩිදෙනෙක් හිටියා.

දවසක් බස් එක පිටත් වෙන්න කලින් ඩ්‍රයිවර් නැඟිටලා කට්ටියටම මෙහෙම කිව්වා. “සාක්ෂිකරුවන් ඉන්න බස් එකක් එළවන්න මම හරිම ආසයි. පුළුවන් නම් මගේ බොස්ට ඊ-මේල් එකක් දාලා කියන්න මාව දිගටම මේ වැඩේටම දාන්න කියලා . මම ඔයාලාගෙන් බයිබලයේ තියෙන හුඟක් දේවල් දැනගත්තා. දෙවියන්ගේ නමවත් මේ පොළොව පාරාදීසයක් වෙනවා කියලාවත් මම කලින් දැනගෙන හිටියේ නැහැ. ඒත් දැන් මම දන්නවා. මම මැරෙන්න බයත් නැහැ. මගේ ඊළඟ නිවාඩු දවසේ මම අනිවාර්යයෙන්ම ඔයාලාගේ රැස්වීමට එනවා.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් වන ඩමියානා එක සිද්ධියක් මේ විදිහට විස්තර කළා. “දවසක් අපි හැමෝම බස් එකට ගොඩ වුණාට පස්සේ ඩ්‍රයිවර් කිව්වා දෙයක් කියන්න තියෙනවා කියලා. නිව් යෝර්ක්වල හැම තැනින්ම සාක්ෂිකරුවන් 4,000ක් විතර බස් එකෙන් ගේනවා ගෙනියනවා කියලා එයා කිව්වා. ඊළඟට එයා මෙහෙම කිව්වා. ‘හැමෝම එක වගේ නැති වුණත් ඔයාලා පෑහිලා එකා වගේ හොඳට වැඩ කරනවා. ඒකට මම හරිම කැමතියි.’ අපිත් එක්ක කතාබහ කරන්නත් හරිම ආසයි කියලා එයා කිව්වා.

“එයා කතා කරලා ඉවර වුණාට පස්සේ බස් එකේ හිටපු එක සාක්ෂිකරුවෙක් එයාගෙන් ඇහුවා ‘අපි ගීතිකා කියනවාට ඔයා කැමතිද’ කියලා.

“එතකොට එයා හිනා වෙලා මෙහෙම කිව්වා. ‘ඔව් මම හරිම ආසයි, අපි එහෙනම් ගීතිකා අංක 134න් පටන්ගමුද?’” *

^ 22 ඡේ. ‘ගයමු ගී දෙවි යෙහෝවාට’ කියන ගීතිකා පොතේ “සියල්ල අලුත් වන විට ඔබත් සිටීවිද?” යන 134වෙනි ගීතිකාවේ විස්තර වෙන්නේ දෙවියන් මේ පොළොව පාරාදීසයක් කළාම අපිට දැනෙන සතුට ගැනයි.