Skip to content

වෝර්වික්වල පින්තූර 4 (2015 මැයි සිට අගෝස්තු දක්වා)

වෝර්වික්වල පින්තූර 4 (2015 මැයි සිට අගෝස්තු දක්වා)

වෝර්වික්වලින් ලැබිලා තියෙන මේ අලුත් පින්තූරවලින් අනාගත ලෝක මූලස්ථානයේ ඉදි කිරීම් වැඩකටයුතු සිදු වෙන විදිහ ඔයාලට බලන්න පුළුවන්. මේ තියෙන්නේ 2015 මැයි සිට අගෝස්තු දක්වා ගත් පින්තූරවල එකතුවක්.

වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය.

  1. වාහන නඩත්තු කරන ගොඩනැඟිල්ල

  2. අමුත්තන්ගේ වාහන සඳහා රථ ගාල

  3. නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

  4. B නේවාසික ගොඩනැඟිල්ල

  5. D නේවාසික ගොඩනැඟිල්ල

  6. C නේවාසික ගොඩනැඟිල්ල

  7. A නේවාසික ගොඩනැඟිල්ල

  8. කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

2015 මැයි 6 - වෝර්වික් වැඩබිම

ස්ටර්ලින් ෆොරස්ට් විලේ සවි කරන ෆිල්ටරයක් වැනි මේ උපකරණය නිසා විලේ තියෙන අපද්‍රව්‍ය, නළ පද්ධතියට ඇතුල් වෙන්නේ නැහැ.

2015 මැයි 6 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

නඩත්තු ගොඩනැඟිල්ලේ බිත්තිවලට විශේෂ උපකරණයකින් සිමෙන්ති දමමින්. මේ අලුත් ක්‍රමය නිසා කාලය ඉතිරි වෙනවා.

2015 මැයි 15 - වෝර්වික් වැඩබිම

තොරතුරු ලබාගැනීමේ අංශය සඳහා වැඩබිමේ පින්තූර ගනිමින්. පාලක මණ්ඩලයේ සහෝදරයන් සෑම සතියකම මේ පින්තූරවලින් වැඩකටයුතු කොයි තරම් දුරට සිදු වෙලාද කියලා අවබෝධයක් ලබාගන්නවා.

2015 මැයි 30 - ටක්සීඩෝ ගොඩනැඟිලි සංකීර්ණය

ජල නළ සවි කිරීමේ වැඩකටයුතුවලට හවුල් වෙන්න ආපු ස්වේච්ඡා සේවකයන් දෙන්නෙක්. ඒ අය ආවේ දකුණු කැලිෆෝර්නියාවේ ඉඳන්. වෝර්වික් ව්‍යාපෘතියේ වැඩකටයුතු සැලසුම් කරන ටක්සීඩෝ ගොඩනැඟිලි සංකීර්ණයට ඒ වගේ ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් එනවා. අගෝස්තු 1වෙනිදා අලුතින් ස්වේච්ඡා සේවකයන් 707දෙනෙක් වැඩබිමට ආවා. එක් දිනක් ඇතුළත අලුතින් වැඩට ආව වැඩිම පිරිස වාර්තා වුණේ එදා.

2015 ජූනි 9 - B නේවාසික ගොඩනැඟිල්ල

කොන්ත්‍රාත්කරුවන් දොඹකරයෙන් ගොඩනැඟිල්ලේ පිටත බිත්ති සවි කරමින්. මේ ගොඩනැඟිල්ලේ හැර අනිත් සියලුම ගොඩනැඟිලිවල පිටත බිත්ති මේ වෙද්දී සවි කර අවසන්.

2015 ජූනි 16 – C සහ D නේවාසික ගොඩනැඟිලි

C සහ D නේවාසික ගොඩනැඟිලි යා කරන පාලම සවි කරමින්.

2015 ජූනි 25 - C නේවාසික ගොඩනැඟිල්ල

තණ පිඩලි අල්ලන සහෝදරියක්.

2015 ජූලි 2 - වෝර්වික් වැඩබිම

වේල්ලට සම්බන්ධ වාන් මාර්ගය අලුත්වැඩියා කරමින්. මේ වේල්ල 1950 ගණන්වල හදපු එකක්. මේ සැලැස්ම නිසා අධික වර්ෂා කාලයේදී වෝර්වික් වැඩබිම සහ අවට ප්‍රදේශ ජලයෙන් යට වෙන්නේ නැහැ.

2015 ජූලි 15 - A නේවාසික ගොඩනැඟිල්ල

තීන්ත ගෑම, ජල නළ සවි කිරීම වගේ ගොඩනැඟිල්ලේ ඇතුළත වැඩ කරන්නේ රාත්‍රී කාලයේදීයි. හැමෝම එකම වේලාවේ වැඩ කරද්දී වැඩබිමේ ඇති වන තදබදය එයින් අඩු වෙනවා.

2015 ජූලි 20 - D නේවාසික ගොඩනැඟිල්ල

වායුසමීකරණ සහ උෂ්ණත්වය පාලනය කරන පද්ධතිවලට සම්බන්ධ වැඩකටයුතු ගැන පුහුණුවක් ලබා දෙමින්.

2015 ජූලි 21 - B නේවාසික ගොඩනැඟිල්ල

B නේවාසික ගොඩනැඟිල්ල සහ නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල යා කරන පාලමට තීන්ත ගාමින්.

2015 ජූලි 27 - ටක්සීඩෝ ගොඩනැඟිලි සංකීර්ණය

වෝර්වික් වැඩබිමට යන්න බස්රථවලට නඟින සේවකයන්. වැඩබිමේ සේවකයන් සඳහා බස්රථ සේවාවක් තියෙනවා.

2015 ජූලි 27 - ටක්සීඩෝ ගොඩනැඟිලි සංකීර්ණය

ටක්සීඩෝවල, වෝර්වික්වල සහ ගබඩාව පිහිටා ඇති මොන්ට්ගොමරිවල බාබර් සැලුන් තියෙනවා. ඒවාවල සතියකට ස්වේච්ඡා සේවකයන් 400කගේ විතර කොණ්ඩේ කපනවා.

2015 අගෝස්තු 3 - වෝර්වික් ගොඩනැඟිලි සංකීර්ණය

භූතාප ශක්තිය ලබාගැනීමට භූගත මාර්ග සකස් කරමින්. මේවායින් සමහරක් මීටර් 150ක් පමණ ගැඹුරුයි. භූගත මාර්ග 120ක් යොදාගන්න නිසා ඉන්ධනවලට යන වියදම අඩු කරගන්නත් පරිසරයට සිදු වෙන හානිය වළක්වගන්නත් හැකි වෙනවා.

2015 අගෝස්තු 7 - මොන්ට්ගොමරි, නිව් යෝර්ක්

වෝර්වික් වැඩබිමට අවශ්‍ය ද්‍රව්‍ය යවන්න කලින් එක් එක් අංශවලට අදාළ දේවල් වෙන වෙනම අසුරමින්.

2015 අගෝස්තු 14 - නිව් යෝර්ක්හි ටක්සීඩෝ

වෝර්වික්වල වැඩ කරන ස්වේච්ඡා සේවකයන් දෙන්නෙක් පවුලක් සමඟ කෑම වේලක් ගනිමින්. ඒ ප්‍රදේශයේ ඉන්න සාක්ෂිකරුවන් හුඟදෙනෙක් ස්වේච්ඡා සේවකයන්ට නවාතැන් ලබා දෙන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා.

2015 අගෝස්තු 17 - නඩත්තු කටයුතු සඳහා යොදාගන්නා ගොඩනැඟිල්ල/නේවාසික රථ ගාල

භූමියේ මට්ටම පරීක්ෂා කරමින්.

2015 අගෝස්තු 20 - කාර්යාල/සේවාවන් සපයන ගොඩනැඟිල්ල

ප්‍රධාන ගොඩනැඟිල්ලේ අමුත්තන් පිළිගැනීමේ ස්ථානයේ වීදුරු සවි කිරීමෙන් පසු.

2015 අගෝස්තු 26 - වෝර්වික් වැඩබිම

මැයි සහ අගෝස්තු අතර කාලයේදී B නේවාසික ගොඩනැඟිල්ලේ බිත්ති සහ වහලයේ වැඩ වගේම එක් එක් ගොඩනැඟිලි යා කරන පාලම්වල වැඩත් අවසන් කළා. දැන් වතු අලංකරණය කිරීමේ වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.