Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

අගහිඟකම් ඇති අය

අගහිඟකම් ඇති අය

අගහිඟකම් ඇති අයව දෙවියන් බලාගන්නවද?

“ඔබ තුළ මුදලට තිබෙන ආශාව නැති කර දමන්න. ඒ බව ඔබ ජීවත් වන ආකාරයෙන් පෙන්වන්න. . . . මන්ද, ‘මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි’ කියා දෙවි පවසා ඇත.”—හෙබ්‍රෙව් 13:5.

දෙවියන් ඔවුන්ව බලාගන්නා හැටි.

අගහිඟකම්වලට මුහුණ දෙන තම සේවකයන්ව යෙහෝවා දෙවියන් බලාගන්නවා. එහෙම කරන්න දෙවියන් තමන්ට නමස්කාර කරන අනිත් අයවත් යොදාගන්නවා. * ඒක දෙවියන් තම සේවකයන්ගෙන් බලාපොරොත්තු වන බව බයිබලයේ කියනවා. ඒ ගැන යාකොබ් 1:27 කියන්නේ ‘අපගේ දෙවි සහ පියාණන්ගේ මිම්මට අනුව කිසි කැළැලක් නැති පවිත්‍ර නමස්කාරයක යෙදෙන්න නම් කෙනෙක් අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගත යුතුයි’ කියලයි.

මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් එකිනෙකාට උදව් කළා. උදාහරණෙකට යූදා දේශයට සාගතයක් එනවා කියලා දැනගත්තම සිරියාවේ අන්තියෝකියේ හිටපු ක්‍රිස්තියානීන් ‘යුදයේ ඉන්න සහෝදරයන්ට යම් සහනාධාර යැවීමට තීරණය කළා.’ (ක්‍රියා 11:28-30) ප්‍රතිඵලය වුණේ යුදයේ හිටපු ක්‍රිස්තියානීන්ට අත්‍යවශ්‍ය දේවල් ලැබීමයි. මේ විදිහට ඒ අය තම ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුවා.—1 යොහන් 3:18.

අගහිඟකමෙන් ගොඩ එන්න කරන්න පුළුවන් මොනවද?

“මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ මමය.”—යෙසායා 48:17, 18.

තනියම ගොඩ එන්න දෙවියන් අපිට උගන්වනවා.

බයිබලයේ තියෙන්නේ හොඳම මඟ පෙන්වීම් කියලත් ඒවා ප්‍රායෝගිකයි කියලත් මිලියන ගණනක් අය අද්දැකලා තියෙනවා. බයිබලයේ හිතෝපදේශ 2:6, 7හි කියන්නේ “ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව සුරැකිව තබාගන්නේය” කියලයි. ඒ ප්‍රඥාවන්ත උපදෙස් ඉගෙනගෙන ක්‍රියාවට නඟද්දී කෙනෙක්ට අගහිඟකම්වලින් ගොඩ එන්න පුළුවන්.

උදාහරණෙකට බයිබලයේ උපදෙස් පිළිපදින අය මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි විදිහට පාවිච්චි කිරීම වගේ මුදල් අපතේ යන හානිකර පුරුදුවලින් වළකිනවා. (2 කොරින්ති 7:1) ඒ වගේම ඔවුන් අවංකව වගකීමෙන් වැඩ කරනවා. ඒ නිසා රැකියා ස්ථානයට එයාලව ගොඩක් වටිනවා. එයාලට රැකියා අවස්ථා වැඩියි. ඒකට හේතුව ‘සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට අගහිඟකම්වලින් පෙළෙන කෙනෙකුට යමක් දීමට හැකි වන සේ වෙහෙස වී වැඩ කළ යුතුයි’ කියලා එෆීස 4:28හි ඇති උපදෙස ඔවුන් පිළිපදින නිසයි.

දෙවියන්ගේ මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ලැබිලා තියෙනවද?

‘දෙවියන්ගේ ප්‍රඥාව නිවැරදි බව ක්‍රියාවලින් ඔප්පු වී ඇත.’—මතෙව් 11:19, නව අනුවාදය.

පිළිපැද ප්‍රයෝජන ලැබූ අය.

ඝානාවේ ඉන්න විල්සන් තාවකාලික රැකියාවක් කරපු කෙනෙක්. එයාගේ රැකියාවේ අන්තිම දවසේ මැනේජර්ගේ කාර් එක හෝදද්දී ඒකෙ තිබිලා සල්ලි වගයක් හම්බුණා. සල්ලි තියාගන්න කියලා සුපවයිසර් කිව්වත් විල්සන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නිසා ඒ සල්ලි මැනේජර්ට දුන්නා. එයා කළ දේ නිසා එයාට ස්ථිර රැකියාවක් ලැබුණා. පස්සෙ කාලෙක එයාව රැකියාවේ උසස් නිලධාරියෙක්ද කළා.

යුරෝපයේ ඉන්න ජෙරල්ඩීන්ගේ රැකියාව අහිමි වුණේ ඇගේ ප්‍රධානියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අකමැති නිසයි. හැබැයි ප්‍රධානියාගේ අම්මා ඇයට කිව්වේ, “ඔයාට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තරම් අවංක, වගකීමෙන් වැඩ කරන අයව කොහෙන්වත් හොයාගන්න බෑ. ඔයා කරගත්තේ මහ මෝඩ වැඩක්” කියලයි. සාක්ෂිකරුවන් ගැන හොයලා බැලුව ප්‍රධානියා ජෙරල්ඩීන්ව ආයෙත් රැකියාවට ගත්තා.

දකුණු අප්‍රිකාවේ ජීවත් වුණ සාරා තනිවම දරුවන් හදා වඩාගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකාර මවක්. එයාට හුඟක් ආර්ථික ප්‍රශ්න තිබුණු කාලේදී අනිත් සාක්ෂිකරුවන් අවශ්‍ය කෑම බීමත් ප්‍රවාහන පහසුකමුත් ලබා දුන්නා. එයාගේ ළමයි පස්සෙ දවසක කිව්වේ “අපිට දැන් සභාවේ අම්මලා තාත්තලා ගොඩාක් ඉන්නවා” කියලයි.

දෙවියන් ඔහුගේ සෙනඟව රැකබලා ගන්න විදිය පෙන්නන අද්දැකීම් ඇති තරම් තියෙනවා. හිතෝපදේශ 1:33 තියෙන ඔහුගේ පොරොන්දුව ඇත්ත කියලා එයින් පැහැදිලි වෙනවා. ඒකේ කියන්නේ “මට සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය” කියලයි.

^ 5 ඡේ. සමහර රටවල, අගහිඟකම් ඇති අයට රජයෙන් මුදල් ලබා දෙනවා. එහෙම නොලැබෙන විට ඒ අයට උදව් කිරීමේ මූලික වගකීම තියෙන්නේ පවුලේ අයටයි.—1 තිමෝති 5: 3, 4, 16.