Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ඔබේ දරුවා බොරු කියනවා නම් . . .

ප්‍රශ්නය

ඔබේ පුංචි පුතා අනිත් කාමරේ සෙල්ලම් කරකර ඉන්නවා. * එකපාරටම සද්දයක් ඇහෙනවා. ගිහින් බලද්දී බිඳුණු මල් පෝච්චිය ළඟ පුතා හිටගෙන ඉන්නවා. එයාගේ මුහුණ දැක්කාම වෙලා තියෙන දේ හිතාගන්න පුළුවන්.

“ඔයා මල් පෝච්චිය කැඩුවා නේද” කියලා ඔබ සැරෙන් අහනවා.

“නෑ අම්මේ, මම කැඩුවේ නෑ” කියලා එයා කියනවා.

පුතා බොරු කිව්ව පළවෙනි වතාව මේක නෙමෙයි. ඒ ගැන ඔබට මොනවාද කරන්න පුළුවන්?

ඔබ දැනගත යුතු දේ

බොරු කියන එක වැරදියි. යෙහෝවා දෙවියන්ට “බොරු කියන දිව” පිළිකුලක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 6:16, 17) කෙනෙක්ව රැවටීම දඬුවම් ලැබිය හැකි වරදක් කියලා ඊශ්‍රායෙල් ජාතියට දිපු නීතිවල සඳහන් වුණා.—ලෙවී කතාව 19:11, 12.

බොරු කියන්න පෙලඹෙන හේතු වෙනස්. සමහර අය බොරු කියන්නේ කෙනෙක්ට හානියක් කරන්නයි. තවත් අය බොරු කියන්නේ දඬුවමෙන් නැත්නම් ලැජ්ජාවෙන් බේරෙන්නයි. (උත්පත්ති 18:12-15) හේතුව මොකක් වුණත් බොරු කියන එක වැරදියි. ඒත් බොරු කියන්න පෙලඹෙන හේතුව අනුව සමහර බොරු අනිත් ඒවාට වඩා බරපතළ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ පුතා බොරු කියනවා නම් ඔහුගේ වයස ගැනත් ඔහු බොරු කියන්නේ ඇයි කියලත් සැලකිලිමත් වෙන්න.

පුංචි කාලෙදිම නිවැරදි කරන්න. පොතක මෙහෙම සඳහන් වෙනවා. “අමාරුම අවස්ථාවක පවා ඇත්ත කියන එකේ වැදගත්කම දරුවාට උගන්වන්න. මොකද හොඳ බැඳීම් ඇති වෙන්නේ විශ්වාසය මතයි. බොරු කියද්දී ඒ විශ්වාසය බිඳෙනවා.” *

කලබල වෙන්න එපා. මේ විදිහට ගියොත් වැඩි කල් යන්න කලින් මේ ළමයගේ ගන්න දෙයක් නැති වෙයි කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:15) සමහර ළමයි බොරු කියන්නේ ඒ නිසයි. එයාලා හිතන්නේ බොරු කිව්වොත් ලේසියෙන්ම දඬුවමෙන් බේරෙන්න පුළුවන් කියලයි.

 මොනවද කරන්න පුළුවන්?

දරුවා බොරු කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න. බොරු කියන්නේ දඬුවම් කරයි කියන බයටද? ඔබේ හිත රිද්දන්න ආස නැති නිසාද? සමහර පුංචි ළමයි යාළුවන්ගේ හිත දිනාගන්න බොරු කතා ගොතනවා. එහෙම කරන්නේ එයා හිතෙන් මවාගන්න දේවල් සැබෑ ලෝකයේ වෙන්නේ නැහැයි කියලා තවම තේරුම්ගන්න පුළුවන් වයසක එයා නැති නිසයි. ඔබේ දරුවාත් ඒ වගේද? හේතුව තේරුම්ගත්තොත් දරුවාව නිවැරදි කරන්න පහසුයි.1 කොරින්ති 13:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ප්‍රශ්න අහන්න එපා. ලිපිය ආරම්භයේදී කිව්ව සිද්ධියේදී අම්මා සිදු වුණ දේ දැනගෙනත් “ඔයා මල් පෝච්චිය කැඩුවා නේද” කියලා දරුවාගෙන් සැරෙන් ඇහුවා. දරුවා බය වුණ නිසා ප්‍රශ්නෙට උත්තර දෙද්දී බොරුවක් කියන්න ඉබේම පෙලඹුණා. ඒ වෙලාවේ ප්‍රශ්නයක් අහනවා වෙනුවට “ඔයා මගේ මල් පෝච්චිය කඩලා” කියලා කෙළින්ම කියන්න තිබුණා. එහෙම කිව්වා නම් දරුවාට බොරු කියන්න තියෙන ඉඩකඩ අඩුයි. තමන්ගේ වරද පිළිගන්නත් දරුවා ඉගෙනගනියි.කොලොස්සි 3:9 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අවංකකම අගය කරන්න. දෙමව්පියන්ගේ හිත දිනාගන්න දරුවෝ ආසයි. ඒක ප්‍රයෝජනයට අරගෙන දරුවන්ට උගන්වන්න. උදාහරණයකට අවංකකම ඔබේ පවුලේ අය ගොඩක් අගය කරනවා කියලත් දරුවාගෙනුත් ඒක බලාපොරොත්තු වෙනවා කියලත් කියන්න.—හෙබ්‍රෙව් 13:18 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

බොරු කියද්දී විශ්වාසය බිඳෙනවා කියලත් ඒක ආයෙත් ඇති කරගන්න කාලයක් යනවා කියලත් දරුවාට තේරුම් කරලා දෙන්න. ඇත්ත කතා කරද්දී දරුවාව අගය කරන්න. එතකොට ඒ දේ දිගටම කරන්න ඔහු පෙලඹෙයි. උදාහරණයකට ඔබට මෙහෙම කියන්න පුළුවන්. “ඔයා ඇත්ත කියපු එක ගැන මට ගොඩක් සතුටුයි පුතේ.”

ඔබත් ආදර්ශවත් වෙන්න. ඔබ ගෙදර ඉද්දී “ගෙදර නෑ කියලා කියන්න” කියනවා නම්, අසනීපයක් නැති වෙලාවක “සනීප නෑ කියලා කියන්න” කියනවා නම් ඔබේ දරුවාත් බොරු නොකියා ඉඳියි කියලා ඔබ හිතනවාද?යාකොබ් 3:17 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

බයිබලයෙන් උගන්වන්න. එහි තියෙන මඟ පෙන්වීම් සහ සැබෑ ජීවිත අද්දැකීම් අවංක ජීවිතයක් ගත කරන්න උදව් වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොත ඔබේ දරුවාට ඒ මඟ පෙන්වීම් කියලා දෙන්න උදව් වෙයි. එහි 22වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ “අපි බොරු කියන්න හොඳ නැත්තේ ඇයි?” කියන කාරණය ගැනයි. (“ දරුවන්ට උගන්වන්න පොතක්” යන කොටුවේ එහි කොටසක් උපුටා දක්වලා තියෙනවා.) යන පොත අපේ වෙබ් අඩවියෙන් (www.mr1310.com/si) ලබාගන්නත් පුළුවන්.

^ 4 ඡේ. මේ ලිපියේ තොරතුරු පිරිමි දරුවන්ට යොමු දැක්වුවත් ඒවා ගැහැනු දරුවන්ටත් අදාළයි.

^ 11 ඡේ. No: Why Kids—of All Ages—Need to Hear It and Ways Parents Can Say It යන පොතෙන්.