Skip to content

පටුනට යන්න

දස දෙසින්

මැද පෙරදිග ගැන විපරමක්

මැද පෙරදිග ගැන විපරමක්

පැරණි ශිෂ්ටාචාර බොහොමයක්ම බිහි වුණේ මැද පෙරදිගින්. ඒ නිසාම ඒ රටවල් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේවල්වලින් පිරිලා තියෙනවා.

දක්ෂ වයින් නිපදවන්නෝ

2013දී පුරාවිද්‍යාඥයන් පිරිසක් අවුරුදු 3,700ක් විතර පරණ, වයින් ගබඩා කරලා තිබුණු තැනක් ඊශ්‍රායලයෙන් හොයාගත්තා. ඒකෙ විශාල මැටි බඳුන් 40ක් තිබුණා. ඒ බඳුන් 40ට අද කාලේ පාවිච්චි කරන වයින් බෝතල් 3,000ක ප්‍රමාණයක් දාන්න පුළුවන්. ඒ බඳුන්වල තිබුණු වයින් කොච්චර සැලකිල්ලෙන් හදලා තිබුණාද කියනවා නම් “හැම භාජනයකම තිබුණේ එකම වට්ටෝරුවකට හදපු වයින්” කියලා ඒ බඳුන් පරීක්ෂා කරපු පුරාවිද්‍යාඥයෙක් කිව්වා.

ඔබ දැන සිටියාද? අතීත ඊශ්‍රායලයේ “අගනා වයින්” හැදුවා විතරක් නෙමෙයි ඒවා විශාල මැටි බඳුන්වල ගබඩා කළා කියලත් බයිබලයේ සඳහන් වෙනවා.—සලමොන්ගේ ගීතිකාව 7:9; යෙරෙමියා 13:12.

ජනගහනයේ අධික වර්ධනයක්

ඊජිප්තුවේ දරු උපත් ගණන 2010ට වඩා 2012 වසරේදී 5,60,000කින් වැඩියි කියලා එක් පුවත්පතක වාර්තා කළා. (Guardian) ඒ රටේ සමීක්ෂණ ආයතනයකින් වාර්තා කළේ “ඊජිප්තු ඉතිහාසයේ වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තා වුණේ ඒ වසරේ” කියලයි. (Baseera) මේ විදිහට දරු උපත් වැඩි වුණොත් ආහාර, ජලය හා බලශක්තියේ ලොකු හිඟයක් ඇති වෙයි කියලා සමහර විද්වතුන් අනතුරු අඟවනවා.

ඔබ දැන සිටියාද? දෙවියන්ගේ අරමුණ ‘මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කිරීමය’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඒත් දෙවියන්ට ඕන හැමෝටම තමන්ගේ අවශ්‍යතා පිරිමහගන්න පුළුවන් විදිහට ඒ දේ වෙනවා දකින්නයි.—උත්පත්ති 1:28; ගීතාවලිය 72:16.

සඟවපු කාසි

ඊශ්‍රායලයේ අධිවේගී මාර්ගයක් අසල කරපු කැණීම්වලදී පැරණි ලෝකඩ කාසි 100කට වඩා හොයාගෙන තියෙනවා. ඒවායේ එක පැත්තක “හතරවෙනි වසර” කියලා කොටලා තිබුණා. ඒකෙන් පැහැදිලි වෙන්නේ ඒවා නිකුත් කරලා තියෙන්නේ යුදෙව්වන් රෝමයට විරුද්ධව කැරැල්ල දියත් කළ හතරවෙනි වසරේදී (ක්‍රි.ව. 69-70) කියලයි. “යෙරුසලම විනාශ කරන්න රෝම හමුදාව ළඟ ළඟම එනවා දැකලා, පස්සේ ඇවිත් ගන්න අදහසින් කවුරු හරි ඒ කාසි හංගලා පලා යන්න ඇති” කියලා කැණීම් කරපු එක් පුද්ගලයෙක් කිව්වා.

ඔබ දැන සිටියාද? රෝම හමුදාව යෙරුසලම වටලනවා කියලා ක්‍රි.ව. 33දී යේසුස් කිව්වා. ඒ කාලයේදී ආරක්ෂාව සඳහා කඳු ප්‍රදේශවලට පලා යන්න කියලත් ඔහු ක්‍රිස්තියානීන්ට උනන්දු කළා.—ලූක් 21:20-24.