Skip to content

පටුනට යන්න

අතීතයෙන් සටහනක්

හෙරෝඩටස්

හෙරෝඩටස්

මීට අවුරුදු දහස් ගණනකට කලින් ජන ජීවිතය මොන වගේ වෙන්න ඇද්ද? මොන වගේ සිරිත් විරිත් තියෙන්න ඇද්ද? ඒ ගැන පුරාවිද්‍යාවෙන් යම් තොරතුරු දැනගන්න පුළුවන් බව ඇත්ත. ඒත් ඒ කාලේ හිටපු කෙනෙක් විස්තර ලියලා තියෙනවා නම් ඊට වඩා මොන තරම් දේ දැනගන්න පුළුවන්ද! අපි මේ ලිපියේ කතා කරන්නේ ඒ වගේ කෙනෙක් ගැනයි. මීට අවුරුදු 2,400කට කලින් ජීවත් වුණු ඔහුගේ නම හෙරෝඩටස්. ඔහු ග්‍රීක ඉතිහාසඥයෙක්. ඔහු ලියූ ඉතිහාස කතාව (The Histories) ගැන තොරුතුරු බිඳක් හොයලා බලමු.

ග්‍රීකවරුන් යුද්ධ කරන්න හේතු වුණු කරුණු ගැනත් විශේෂයෙන්ම පර්සියානුවන් ක්‍රි.පූ. 490 සහ 480 කාලයේදී කළ ආක්‍රමණ ගැනත් හෙරෝඩටස් වාර්තා කළා. පර්සියානුවන් ආක්‍රමණය කරපු කාලයේදී ඔහු පුංචි කොල්ලෙක් වුණත් පසු කාලයේදී ඔහු ඒ පිළිබඳ තොරතුරු හොයාගෙන සටහන් කළා. ඒ තොරතුරු විස්තර කරද්දී ඔහු ඒ ආක්‍රමණය ගැන විතරක් නෙමෙයි විවිධ ජාතීන්ගේ ජන ජීවිතය ගැනත් තොරතුරු රාශියක් ලිව්වා.

සවිස්තරාත්මක වාර්තාවක්

හෙරෝඩටස් දක්ෂ කතුවරයෙක්. ඔහු යමක් ලියන්න පටන්ගත්තාම ඒකට සම්බන්ධ හැම පුංචි තොරතුරක්ම ඇතුළත් කරලා ලියන්න පුරුදු වෙලා හිටියා. ඔහුගේ වාර්තා හරිම සුවිශේෂීයි. මොකද ඔහු ලිව්වේ වෙනත් ඉතිහාස පොත් පත්වලින් උපුටා ගෙන නෙවෙයි.

ඒ කාලයේ හිටපු හුඟක් අය ඉතිහාස තොරතුරු ගැන ලියන්න එතරම් උනන්දුවක් දැක්වුවේ නැහැ. කෙනෙක් එහෙම දෙයක් කළා නම් කළේ ඔහුට ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන් නම් විතරයි. ඒත් හෙරෝඩටස්ට ඉතිහාසය වාර්තා කරලා තියන්න ලොකු උවමනාවක් තිබුණා. ඔහු ඒවාට අවශ්‍ය තොරතුරු ලබාගත්තේ අනිත් අයත් එක්ක කතා බහ කරලා හා රට රටවල්වලට ගිහින් නිරීක්ෂණ කරලයි. ඔහු හැදුණේ වැඩුණේ තුර්කියේ දකුණෙන් පිහිටි හලිකාර්නෙසස් (දැන් හඳුන්වන්නේ බෝඩ්‍රම්) නම් නගරයේ වුණත් ග්‍රීසිය ඇතුළු රටවල් ගණනාවකම ඔහු සංචාරය කළා.

හෙරෝඩටස් තොරතුරු හොයන්න රටවල් ගණනාවකම සංචාරය කළා

ඔහු තුර්කියට උතුරින් පිහිටි ස්කිතියා (යුක්රේනය) නම් රටටත් දකුණින් පිහිටි පලස්තීනයට හා ඊජිප්තුවටත් ගියා. නැඟෙනහිරෙන් බැබිලෝනිය දක්වාත් බටහිරින් දකුණු ඉතාලිය දක්වාත් ගමන් කළා. සමහරවිට ඔහු ජීවිතයේ අවසන් කාලය ගත කරන්න ඇත්තේ ඉතාලියේ දකුණින් පිහිටි ග්‍රීක නගරයකයි. ඔහු ගිය ගිය තැන්වල අවට දේවල් නිරීක්ෂණය කරලා තොරතුරු හොයාගත්තා. ඒ විතරක් නෙමෙයි එදා කාලයේ සිදු වෙන දේවල් ගැන නිවැරදි තොරතුරු සපයන්න පුළුවන් අයගෙනුත් ඔහු තොරතුරු ලබාගත්තා.

නිවැරදි වාර්තාවක්

ඔහු ලියූ පැපිරස් ලියවිල්ලක කොටසක්

හෙරෝඩටස් වාර්තා කරලා තියෙන තොරතුරුවල නිරවද්‍යතාව ගැන කියන්න පුළුවන් මොනවාද? ඔහු සටහන් කළේ තම ඇස් දෙකෙන්ම දුටු දේවල් හා ඔහුගේ සංචාරවලදී හොයාගත්ත දේවල් නිසා ඒවා නිවැරදියි කියලා කියන්න පුළුවන්. උදාහරණයකට ස්කිතියාවේ ජනයා සිදු කළ රාජකීය භූමදාන හා ඊජිප්තුවේ සිදු කළ මමීකරණය වගේ දේවල් ගැන ඔහු වාර්තා කළා. ඒත් ග්‍රීසියේ අය ඒ තොරතුරු දැනගත්තේ පසු කාලයකදී සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලිනුයි. ඊජිප්තුව ගැන ඔහු වාර්තා කළ තොරතුරු සම්භාරය මොන තරම් වටිනාවද කියනවා නම් අතීතයේ ඒ රට ගැන ලියවිලා තිබුණු හැම තොරතුරකටම වඩා හෙරෝඩටස්ගේ වාර්තාව විශිෂ්ටයි කියලා කවුරුත් පිළිගන්නවා.

ඒ කාලේ මිනිසුන් තමන්ගේ ජීවිතවලට මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ගේ බලපෑම් තියෙනවා කියලා විශ්වාස කළා. ඔහු තොරතුරු ලබාගත්තේ එවැනි විශ්වාසයන් තිබුණු අයගෙන් නිසා ඔහුගේ සමහර වාර්තා සීයට සීයක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. අද දින ඉතිහාසඥයන් ඔහු ලියූ සමහර තොරතුරු පිළිගන්නේ නැත්තෙත් ඒ නිසයි. ඒත් හෙරෝඩටස්, තමන් ඇසූ සෑම දෙයක්ම විශ්වාස කළේ නැහැ කියලා වාර්තා කරනවා. ඔහු මුඛ පරම්පරාවෙන් එන කතා හා සත්‍ය තොරතුරු වෙන් කර හඳුනාගන්න ලොකු වෑයමක් දරලා තියෙනවා. ඔහු යම් කාරණා ගැන තීරණයකට එලඹුණේ කරුණු කාරණා කිරලා මැනලයි.

ඉතිහාස වාර්තා සකස් කරන්න තමන්ගේ මුළු ජීවිත කාලයම වැය කළ හෙරෝඩටස් ඉටු කරලා තියෙන්නේ මොන තරම් අගනා සේවයක්ද!