Skip to content

පටුනට යන්න

මිය ගිය දරුවෙකුට ජීවිතය ලැබී

මිය ගිය දරුවෙකුට ජීවිතය ලැබී

දෙවිට ළං වෙන්න

මිය ගිය දරුවෙකුට ජීවිතය ලැබී

2 රාජාවලිය 4:8-37

ආදරයෙන් හදා වඩා ගත් දරුවෙකුගේ මරණය නිසා දෙමාපියන්ට දැනෙන වේදනාව වචනවලින් විස්තර කරන්න බැහැ. කොහොමවුණත් මිය ගිය අයට නැවත ජීවිතය දීමට යෙහෝවා දෙවිට හැකියාව තිබෙනවා. අපි එසේ පවසන්නේ දෙවි තම සේවකයන්ට බලය ලබා දීමෙන් මිය ගිය අයට නැවත ජීවිතය ලබා දුන් සිද්ධීන් බයිබලයේ සඳහන් වන නිසයි. උදාහරණයකට අනාගතවක්තෘවරයෙක් වූ එලිෂා එක් අවස්ථාවකදී දෙවිගේ බලය තුළින් මිය ගිය දරුවෙකුට නැවත ජීවිතය ලබා දුන්නා. දැන් අපි ඒ සිද්ධිය සලකා බලමු.

එලිෂාට ආහාර පාන සහ නවාතැන් දුන් යුවළක් ෂුනෙම් නගරයේ සිටියා. ඔවුන්ට දරුවන් සිටියේ නැහැ. ඒ නිසා “ඊළඟ අවුරුද්දේ මේ කාලය වෙද්දී ඔබට පුතෙක් ලැබෙයි” කියා එලිෂා ඒ ස්ත්‍රියට පැවසුවා. ඔහු පැවසූ ලෙසම ඇයට පුතෙක් ලැබුණා. එවිට ඒ ස්ත්‍රිය මොන තරම් ප්‍රීති වෙන්න ඇද්ද! නමුත් ඒ ප්‍රීතිය වැඩි කල් පැවතුණේ නැහැ. දිනක් ඇගේ පුතා කෙතේ සිටි පියා ළඟට ගිය විට ඔළුව කැක්කුමකින් කෙඳිරිගාන්න පටන්ගත්තා. ඒ නිසා පුතාව අම්මා ළඟට ගෙනියන්න කියා පියා එතන සිටි සේවකයෙකුට පැවසුවා. නිවසට ගෙන ගිය පසුව දරුවා මවගේ උකුළේදීම මිය ගියා. (2 රාජාවලිය 4:16, 19, 20) මහත් වේදනාවෙන් සිටි ඒ ස්ත්‍රිය ඇගේ නිවසේ උඩුමහලේ තිබූ එලිෂාගේ ඇඳේ දරුවාව තැබුවා.

පසුව ඇය ස්වාමිපුරුෂයාගේ අවසරය ඇතුව හැකි ඉක්මනින්ම එලිෂාව හමුවීමට ගියා. ඒ වන විට එලිෂා සිටියේ කිලෝමීටර් 30ක් දුරින් පිහිටි කර්මෙල් කන්දෙයි. ඇය එලිෂා ඉදිරියට ගිය විට දරාගත නොහැකි වේදනාවකින් හඬා වැලපුණේ නැහැ. ඊට හේතුව කලින් වතාවක අනාගතවක්තෘ එලියා වැන්දඹුවකගේ එකම පුත්‍රයාට නැවත ජීවිතය ලබා දුන් සිද්ධිය ගැන ඇය දැන සිටීමද? (1 රාජාවලිය 17:17-23) එලිෂාත් තම පුත්‍රයාට ඒ ආකාරයෙන්ම නැවත ජීවිතය ලබා දෙයි කියා ඇය විශ්වාස කරන්න ඇද්ද? ඒ කුමන හේතුවක් නිසා හෝ ඇය එලිෂා ළඟට යන්න තීරණය කළත් එලිෂා නොමැතිව නැවත නිවසට යන්නේ නැහැ කියා ඇය පැවසුවා.

එලිෂා ඒ ස්ත්‍රියගේ නිවසට පැමිණි පසු උඩුමහල් කාමරයට ගියා. එවිට “දරුවාගේ මළ මිනිය තම ඇඳ මත තබා තිබෙනවා” ඔහු දුටුවා. (2 රාජාවලිය 4:32) ඉන්පසුව ඔහු දොර වසාගෙන දෙවිට ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. එලිෂා ඇඳ ළඟට ගොස් නැමී ඒ දරුවාව වැලඳගත් විට ‘දරුවාගේ ශරීරය ටිකෙන් ටික උණුසුම් වෙන්න පටන්ගත්’ අතර දරුවාට නැවත ජීවිතය ලැබුණා. ඒ නිසා ඔහු දරුවාගේ මවට කතා කර “ඔබේ පුතාව වඩාගන්න” කියා පැවසුවා. ඒ මොහොතේදී ඇයට මොන තරම් ප්‍රීතියක් දැනෙන්න ඇද්ද!—2 රාජාවලිය 4:34, 36.

ඒ සිද්ධිය අපට සහනයක් මෙන්ම ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද ඇති කරනවා. ඇත්තෙන්ම මරණයෙන් දරුවන්ව අහිමි වෙන දෙමාපියන් තුළ ඇති වන වේදනාව දෙවිට හොඳින්ම දැනෙනවා. මිය ගිය අයට නැවත ජීවිතය දීමට දෙවි බලා සිටින්නේ මහත් ආශාවකින්. (යෝබ් 14:14, 15) එලිෂා ඇතුළු තම සේවකයන් මාර්ගයෙන් දෙවි මිය ගිය අයට ජීවිතය ලබා දුන්නා නම් මේ පොළොව පාරාදීසයක් වූ දාට දෙවි ඊටත් වඩා වැඩියෙන් එසේ කරන බව පැහැදිලියි. *

මිය ගිය අයට නැවතත් ජීවිතය ලබා දෙන බවට දෙවි දී තිබෙන පොරොන්දුවෙන් මරණය නිසා ඇති වන වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. “මිය ගිය මගේ පුතාව මට ආයෙත් ලැබෙන කල් මගේ වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ” කියා එක් පියෙක් පැවසුවේ ඒ නිසයි. ඇත්තෙන්ම මිය ගොස් සිටින ඔබ ආදරය කළ අයව නැවත දැකගැනීමට තිබෙන බලාපොරොත්තුව මොන තරම් වටිනවාද! මරණයේ වේදනාව දරාගැනීමට එය මහඟු උපකාරයක්. ඒ වටිනා බලාපොරොත්තුව අපට ලබා දී තිබෙන දෙවි ගැන ඉගෙනගන්න ඔබ කැමතිද?

[පාදසටහන]

^ 8 ඡේ. මිය ගිය අය නැවත නැඟිටින බවට බයිබලයේ සඳහන් පොරොන්දු ගැන වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 7වන පරිච්ඡේදය බලන්න.