Skip to content

පටුනට යන්න

වඩු කාර්මිකයෙක් වූ යේසුස්

වඩු කාර්මිකයෙක් වූ යේසුස්

පළමු සියවසෙන් බිඳක්

වඩු කාර්මිකයෙක් වූ යේසුස්

“ඔහු වඩුවෙක්ගේ පුතෙක් නේද?”—මතෙව් 13:55.

යේසුස්ව “වඩුවෙකුගේ පුතා” ලෙස හඳුන්වනවාට අමතරව සමහරු ඔහුව “වඩුවෙක්” ලෙසත් හැඳින්වූවා. (මාක් 6:3) යේසුස් බොහෝවිට වඩුකර්මාන්තය ඉගෙනගන්න ඇත්තේ ඔහුව හදා වඩා ගත් පියා වූ යෝසෙප්ගෙන් විය හැකියි.

වඩුකාර්මිකයෙක් වීම සඳහා යේසුස්ට දියුණු කරගැනීමට සිදු වූ හැකියාවන් මොනවාද? කුමනාකාරයේ ආයුධ භාවිත කිරීමට ඔහු හුරු විය යුතු වුණාද? නාසරෙත් නුවර ජීවත් වූ අයට ඔහු අතින් කුමනාකාරයේ සේවයක් සිදු වෙන්න ඇද්ද? වඩු කර්මාන්තයෙන් යේසුස් ලැබූ අද්දැකීම් ඔහුගේ ඉගැන්වීම්වලට බලපෑවේ කෙසේද?

පවුලේ ව්‍යාපාරයක්. පහත පින්තූරයේ දැක්වෙන්නේ පියෙක් ඔහුගේ වැඩිමල් පුත්‍රයාට බුරුමය භාවිත කරන අයුරු කියා දෙන ආකාරයයි. ඒ අතරවාරයේ බාල පුතා ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනවා.

පළමු සියවසේ පැවති යුදෙව් සමාජය තුළ පිරිමි දරුවෙක් යම් කර්මාන්තයක් ගැන ඉගෙනගැනීමට පටන්ගන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර කාලයේදීයි. ඇතැම් විට එම පුහුණුව දීර්ඝ කාලයක් පුරා දිව යා හැකියි. දක්ෂ වඩුවෙකු වීමට නම් දරුවෙකුට ඒ කාලය තුළ ඉතා උනන්දුවෙන් සහ කැප වීමෙන් ඒ කර්මාන්තය ඉගෙනගැනීමට සිදු වුණා. ඔවුන් බොහෝවිට එය ඉගෙනගන්නේ ඔවුන්ගේ පියාගෙනුයි. එලෙස වඩුවෙකු ලෙස තමා සතුව තිබූ හසළ දැනුම යේසුස් සමඟ බෙදාගැනීමෙන් යෝසෙප් මොන තරම් සතුටක් ලබන්න ඇද්ද කියා සිතන්න. වඩු වැඩ ගැන යේසුස්ට කියා දීම සඳහා බොහෝ වේලා ඔහු සමඟ වැඩ කිරීමෙනුත් වඩුවෙකු ලෙස යේසුස් තම හැකියාවන් ප්‍රගුණ කරගන්නවා දැකීමෙනුත් යෝසෙප්ගේ සතුට තවත් වැඩි වෙන්න ඇති.

දැනුම, ශක්තිය හා දක්ෂතා අවශ්‍ය වූ කර්මාන්තයක්. වඩුවෙකුට ලී සම්බන්ධයෙන් හොඳ දැනුමක් තිබීම අත්‍යාවශ්‍යයි. ඊශ්‍රායෙල් දේශයේ සයිප්‍රස්, ඕක්, දේවදාර, සිකමෝර් සහ ඔලීව් වැනි ගස් තිබුණු නිසා වඩුවෙකුට එවැනි ගස් භාවිත කිරීමට හැකි වුණා. කොහොමවුණත් අද මෙන් ලී මෝලකට ගොස් අවශ්‍ය ලී තෝරාගැනීමේ හැකියාව එදා තිබුණේ නැහැ. ඒ වෙනුවට ලී ලබාගැනීම සඳහා වඩුවෙකුට කැළෑවකට ගොස් ගසක් තෝරාගෙන එය කපා පසුව එය වඩු මඩුව වෙත රැගෙන ඒමට සිදු වුණා. එය ලෙහෙසි පහසු කාර්යයක් වන්න ඇති කියා ඔබ සිතනවාද?

අතීතයේ සිටි වඩුවෙකුගේ වැඩ කොටස වඩු මඩුවට පමණක් සීමා වූයේ නැහැ. ඔවුන් නිවෙස් ඉදි කිරීමේ වැඩ සඳහාත් ඔවුන්ගේ හැකියාවන් යොදාගන්න ඇති. පරාල ඉරීම, නිවෙස් තුළ පඩි පේළි සෑදීම, දොර ජනෙල් ඇතුළු තවත් දේවල් සෑදීම වැනි කාර්යයන් ඊට ඇතුළත් වෙන්න ඇති.

වඩුවෙකු සෑදූ ගෘහ භාණ්ඩ අතරට (1) ලාච්චු හෝ රාක්කවලින් සමන්විත පියන් සහිත කබඩ්, (2) බංකු, (3) පුටු සහ විවිධ ප්‍රමාණවලින් යුත් (4) මේස ඇතුළත් වුණා. ඊට අමතරව ඔහු තොටිලි සාදන්නත් ඇති. සමහර අවස්ථාවලදී වඩුවෙක් ඔහු සාදන ගෘහ භාණ්ඩ අලංකාර කිරීම සඳහා වෙනත් ලී වර්ගයක් එක් කරමින් සියුම් හැඩතළ මතු කරන්න ඇති. එමෙන්ම ඒවායේ කල් පැවැත්ම හා ඔපය සඳහා ඔහු ඒවාට වානිෂ්, මී ඉටි හෝ තෙල් වැනි දෑ ආලේප කරන්න ඇති.

ගෘහ භාණ්ඩවලට අමතරව ගොවියන්ට අවශ්‍ය උපකරණත් වඩුවන් විසින් සාදනු ලැබුවා. ඒවා අතරට (5) වියගස්, (6) මුල්ලු, රේක්ක, සවල් හා (7) නඟුල් වැනි දෑ ඇතුළත් වුණා. සාමාන්‍යයෙන් ගල් මිශ්‍ර තද පසක් බුරුල් කිරීම සඳහා නඟුල් ඉතා ශක්තිමත් ලෙස සෑදීමට අවශ්‍ය වුණා. එවැනි උපකරණ සාදනවාට අමතරව වඩුවෙක් (8) ලී කරත්ත සාදන්නත් ඇති. කරත්තයක බර දැරීමට හැකි වන ලෙස එහි රෝද ශක්තිමත්ව සෑදීමට ඔහු වග බලා ගත යුතුයි. ඊට අමතරව ඔහු සෑදූ ගෘහ භාණ්ඩ, උපකරණ සහ කරත්ත අලුත්වැඩියා කිරීමත් ඔහු කළ වැඩ කොටසට ඇතුළත් වුණා.

කාලයක් පුරා යේසුස් වඩුවෙකු ලෙස කටයුතු කළ නිසා ඔහුගේ පෙනුම මොන ආකාරයෙන් තියෙන්න ඇද්ද? මැදපෙරදිග රටක අව් කාෂ්ටකයේ වැඩ කිරීමෙන් ඔහුගේ සම රන්වන් පැහැයක් ගන්න ඇති. වසර ගණනාවක් පුරා වෙහෙස වී වැඩ කිරීම නිසා ඔහුට ශක්තිමත් සිරුරක් තිබුණු බවට සැකයක් නැහැ. එමෙන්ම ලී කොටන් ඇදීමෙන් සහ විවිධ වර්ගයේ ආයුධ භාවිත කිරීමෙන් ඔහුගේ අත් රළුව තිබෙන්නත් ඇති.

වඩු කර්මාන්තය සහ යේසුස්ගේ ඉගැන්වීම්. මිනිසුන් නිතරම දුටු දේවල් උපහැරණ ලෙස යොදාගනිමින් යේසුස් ඉතා දක්ෂ ලෙස ඔවුන්ට වැදගත් කාරණා කියා දුන්නා. එවන් උපහැරණ අතරට වඩුවෙක් ලෙස ඔහු සෑදූ දේවල් පවා ඇතුළත් වුණා. ඒ සඳහා උදාහරණ කිහිපයක් සලකා බලන්න. එක් අවස්ථාවක ඔහු විශාල සෙනඟකට උගන්වමින් සිටි විට මෙවැනි ප්‍රශ්නයක් ඇසුවා. “ඔබේ ඇසේ ඇති පරාලය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති රොඩ්ඩ දෙස බලන්නේ ඇයි?” (මතෙව් 7:3) තවත් අවස්ථාවක ඔහු පැවසුවේ “නඟුලකට අත තැබූ පසු ආපසු හැරී බලන කෙනෙක් දෙවිගේ රාජ්‍යයට සුදුසු කෙනෙක් නොවෙයි” කියායි. (ලූක් 9:62) එමෙන්ම මිනිසුන් සඳහා ඔහු ඉතා කාරුණිකව කළ ආරාධනයක වඩුවන් සෑදූ වියගහක් ගැනත් සඳහන් වෙනවා. ඒ ආරාධනය මෙයයි. ‘මා ඔබ පිට තබන වියගහ පිළිගෙන මගෙන් ඉගෙනගන්න. මන්ද මා ඔබ පිට තබන වියගහ පහසුයි. ඔබට උසුලාගෙන යෑමට තිබෙන බරද සැහැල්ලුයි.’ (මතෙව් 11:29, 30) සතෙකුට තුවාළ නොවන ආකාරයෙන් සැහැල්ලු මෙන්ම පහසුවෙන් ඇදගෙන යා හැකි වියගහක් සාදන ආකාරය ගැන යේසුස් හොඳින්ම දැන සිටි බවට කිසිම සැකයක් නැහැ.

යේසුස්ට විරුද්ධ වූ අය ඔහුව අවමානයට ලක් කිරීම සඳහා යේසුස්ව “වඩුවෙක්ගේ පුතෙක්” ලෙස හඳුන්වන්න ඇති. නමුත් පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් අද සිටින සැබෑ ක්‍රිස්තියානීන්ද වඩුවෙක් ලෙස වැඩ කළ යේසුස්ව අනුකරණය කිරීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා.

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

වඩුවෙකුගේ ආයුධ පෙට්ටිය

වඩුවෙකු ලෙස යේසුස්ට විවිධ ආයුධ සහ මෙවලම් භාවිත කරන ආකාරය පුරුදු වීමට සිදු වුණා. ඒවා මොනවාද කියා මේ පින්තූරය මගින් දැක ගත හැකියි. (1) ලී රාමුවකින් යුත් කියත. (2) මුළු මට්ටම. යම් දේවල් කෙළින් තිබෙනවාදැයි බැලීමට වඩුවෙකුගේ ආයුධ පෙට්ටියේ (3) ලඹ කැටයක්, (4) ලෙවලයක් සහ (5) ලෙවල් දණ්ඩක්ද තිබුණා. රළු ලී සුමට කිරීම සඳහා (6) යතුකැටයක්ද ගස් කපාගැනීම සඳහා (7) පොරොවක්ද වඩුවෙකුට අවශ්‍ය වුණා.

ඊට අමතරව (8) බීරළු ලියවනයක් සහ (9) බොකු නියනක්ද ඔහුගේ ආයුධ පෙට්ටියේ තිබුණා. ආයුධ පෙට්ටියේ පියන මත (10) අතකොළුවක්, (11) අත්කියතක් (12) යතුපිහියක් සහ (13) ඇණ ස්වල්පයක් තිබෙන ආකාරය දැකිය හැකියි. එමෙන්ම (14) මිටියක් සහ (15) වෑයක් ආයුධ පෙට්ටියේ ඉදිරියෙන් දක්නට ලැබෙනවා. ඊට අමතරව (16) පිහියක්, (17) විවිධ ප්‍රමාණවලින් යුත් නියන් සහ (18) බුරුමයක්ද වඩුවෙකුගේ ආයුධ පෙට්ටියේ තිබුණා.