Skip to content

පටුනට යන්න

පවුලේ සමඟියට අත්වැලක්

දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න

දරුවන්ගේ සිතට නිවැරදි ප්‍රතිපත්ති කාවද්දන්න

මෙක්සිකෝවේ ජීවත් වන ලොයිඩා * නමැති මව මෙසේ පැවසුවා. “උපත් පාලන කොපු ඉස්කෝලෙන්ම දෙන නිසා ආරක්ෂිතව ලිංගික සම්බන්ධකම් පැවැත්වීමේ වරදක් නැහැ කියලා දරුවන් හිතනවා.”

ජපානයේ ජීවත් වන නෝබූකෝ නමැති මව මෙසේ පැවසුවා. “මම දවසක් මගේ පුතාගෙන් ඇහුවා කවුරුත්ම ළඟ නැති වෙලාවක ඔයයි ඔයාගේ පෙම්වතියයි මොකද කරන්නේ කියලා. එතකොට පුතා කිව්වා ‘ඒ වෙලාවට අපි මොනවා කරයිද කියලා මම දන්නේ නැහැ’ කියලා.”

ඔබේ දරු පැටියාව ආරක්ෂා කරගැනීමට ඔබ බොහෝ දේවල් කළ බවට සැකයක් නැහැ. සමහරවිට ඔබ දොරටුවට කඩුල්ලක් සවි කරන්න ඇති. ඒ වගේම නිවසේ තිබෙන කෙවිනි (ප්ලග් පොයින්ට්) ආවරණය කරන්නත් ඇති.

කොහොමවුණත් දරුවන් වයසින් වැඩෙන විට ඔවුන්ට ආරක්ෂාව සැපයීම එතරම් පහසු කාර්යයක් නොවෙයි. දෙමාපියන් ලෙස සමහරවිට ඔබට මෙවැනි බියක් දැනිය හැකියි. ‘මගේ පුතා අසභ්‍ය පින්තූරු නරඹනවාද? මගේ දුව ජංගම දුරකථනය හරහා ඇගේ නිරුවත් පින්තූර කාට හරි යවනවා ඇතිද? මගේ දරුවන් ලිංගික සම්බන්ධකම් පවත්වනවා ඇතිද?’

අනවශ්‍ය ලෙස විපරමින් ඉන්න එපා

ඇතැම් දෙමාපියන් දරුවන්ව ආරක්ෂා කරගැනීම සඳහා පැය 24 පුරාම ඔවුන් ගැන විපරමින් සිටිනවා. නමුත් එසේ කිරීමෙන් බොහෝ දරුවන් තමන් කරන වැරදි දෙමාපියන්ගෙන් වසං කිරීමට පෙලඹී තිබෙනවා.

මෙහිදී දෙමාපියන්ට කළ හැකි හොඳම දෙය නම් යෙහෝවා දෙවිව ආදර්ශයට ගැනීමයි. ඔහු කොයිම අවස්ථාවකවත් අන් අය ලවා හරි දේ කරවාගැනීමේ අරමුණින් ඔවුන් දෙස විපරමින් බලන්නේ නැහැ. (ද්විතීය කතාව 30:19) එසේනම් වැරදි දේවලින් දරුවන්ව ආරක්ෂා කරගත හැක්කේ කෙසේද?—හිතෝපදේශ 27:11.

ඒ සඳහා කළ හැකි හොඳම දෙය නම් නිතරම දරුවන්ට නිවැරදි මඟ පෙන්වීම් ලබා දීමයි. එසේ කළ යුත්තේ දරුවන්ගේ කුඩා අවධියේ සිටමයි. * (හිතෝපදේශ 22:6) ලිංගික කාරණා වැනි ඉතා වැදගත් විෂයන් සම්බන්ධයෙන් ඔබේ දරුවන්ට නිසි අවබෝධයක් ලබා දිය හැකි සුදුසුම කෙනා ඔබයි. බ්‍රිතාන්‍යයේ වෙසෙන අලීෂා නමැති යෞවනිය ඒ ගැන මෙසේ පැවසුවා. “හුඟක් අය හිතන්නේ ලිංගික කාරණා ගැන දෙමාපියන් එක්ක කතා කරනවාට වඩා යාළුවන් එක්ක කතා කරන එක හොඳයි කියලා. ඒත් ඒක වැරදියි. මොකද යාළුවන්ට වඩා දෙමාපියන් කියලා දෙන දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන්.”

හොඳ ප්‍රතිපත්ති කියා දෙන්න

මවකගේ කුස තුළ දරුවෙක් පිළිසිඳගන්නා ආකාරය සහ දරුවෙක් බිහි වෙන ආකාරය ගැන දැන සිටිනවාට අමතරව ලිංගික කාරණා ගැනත් දරුවන් ක්‍රමානුකූලව දැනුවත් වී සිටිය යුතුයි. එමෙන්ම ලිංගික කාරණා සම්බන්ධයෙන් හරි දේ කුමක්ද වැරදි දේ කුමක්ද කියා හඳුනාගැනීමට නිවැරදි ප්‍රතිපත්ති දරුවන්ගේ සිත් තුළ පැළපදියම් වී තිබීමත් වැදගත්. එවිට ‘වටහාගැනීමේ හැකියාව භාවිත කරමින් හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට ඔවුන් පුහුණු වෙනවා.’—හෙබ්‍රෙව් 5:14.

දෙමාපියන් හැටියට ඔබ විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා විශ්වාස කරනවා විය හැකියි. (1 තෙසලෝනික 4:3) ඔබ එවැනි විශ්වාසයක් දරන බවත් ඔබ දරන එම විශ්වාසයට පදනම සපයන බයිබල් ප්‍රතිපත්ති මොනවාද කියාත් ඔබේ දරුවන්ද දන්නවා ඇති. එමනිසා විවාහ නොවී හෝ විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා ඔවුනුත් පවසයි.

නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. එක් පොතක සඳහන් වූ ආකාරයට විවාහ වීමට කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා බොහෝ දරුවන් පිළිගන්නේ දෙමාපියන් එය වැරදියි කියා පවසන නිසා මිස නිවැරදි අවබෝධයක් ඇතුව නොවෙයි. (Sex Smart) “එමනිසා වැරදි පෙලඹීමක් ඇති වූ විට කළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද කියා තීරණය කිරීමට නොහැකිව ඔවුන් බොහෝ අවස්ථාවලදී අනතුරේ වැටෙනවා” කියාත් එම පොතේ සඳහන් වුණා. නමුත් දරුවන්ගේ සිත් තුළට ලිංගික කාරණා පිළිබඳ නිවැරදි ප්‍රතිපත්ති කාවද්දවා තිබෙනවා නම් ඔවුන් එලෙස අනතුරේ වැටෙන්නේ නැහැ. එසේනම් එය කළ හැක්කේ කෙසේද?

ලිංගික කාරණා ගැන ඔබේ ප්‍රතිපත්ති දරුවන්ට පැහැදිලි කරන්න.

විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා ඔබ පිළිගන්නවාද? එසේනම් නිතරම ඒ ගැන දරුවන්ට පැහැදිලි කරන්න. එක් පොතක පෙන්වා තිබූ ආකාරයට ‘විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා දෙමාපියන් දරුවන්ට කියා දෙනවා නම් ඒ දරුවන් බොහෝවිට විවාහයට කලින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් වැළකී සිටින’ බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.—Beyond the Big Talk.

නමුත් ඇතැම් දරුවන් ලිංගික කාරණා ගැන දෙමාපියන් දරන මතය පිළිගත්තත් පසු කාලයේදී ඔවුන් ඒවා නොසලකාහරින බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඒ නිසා ලිංගික කාරණා සම්බන්ධයෙන් පවුලක් ලෙස අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති මොනවාද කියා ඔබ දරුවන්ට හොඳින් පැහැදිලි කර දෙනවා නම් ඒ ඔස්සේ ඔබේ දරුවනුත් ලිංගික කාරණා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්ති ඔවුන්ගේ සිතේ පැළපදියම් කරගනියි.

මෙය අත්හදා බලන්න: ලිංගික කාරණා ගැන ඔබ දරන ප්‍රතිපත්තිය කාලීන සිදුවීමක් ඇසුරින් දරුවාට කියා දෙන්න. කාන්තා අතවරයක් සම්බන්ධ සිද්ධියක් යොදාගෙන දරුවාගෙන් මෙසේ අසන්න. “මිනිස්සු කාන්තාවන්ට මෙහෙම කරන්නේ ඇයි කියලා මට නම් හිතාගන්න බැහැ. ඔයා හිතන විදිහට ඒ වගේ පහත් සිතුවිලි මිනිසුන්ගේ සිත්වලට එන්නේ කොහොමද?”

ලිංගික කාරණා ගැන සත්‍යය පහදා දෙන්න.

ලිංගික කාරණා සම්බන්ධයෙන් අනතුරුදායක පැති දරුවන්ට පෙන්වා දිය යුතුයි. (1 කොරින්ති 6:18; යාකොබ් 1:14, 15) නමුත් එය භයානක දෙයක් ලෙස පමණක් ඔබ විස්තර කළොත් දරුවන් තුළ ලිංගික කාරණා ගැන බයිබලයට පටහැනි අදහසක් ඇති විය හැකියි. මන්ද බයිබලයේ සඳහන් වන්නේ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ලැබීම විවාහ යුවළකට යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන මහඟු දායාදයක් කියායි. (හිතෝපදේශ 5:18, 19; සලමොන්ගේ ගීතිකාව 1:2) ප්‍රංශයේ ජීවත් වන එක් තරුණියක් පැවසූ මේ දේ සලකා බලන්න. “මගේ දෙමාපියන් මට නිතරම කිව්වේ ලිංගික සම්බන්ධකම් පවත්වන එක වැරදියි කියලයි. ඒ නිසා ලිංගික කාරණා ගැන මට තිබුණේ වැරදි ආකල්පයක්.”

එමනිසා ඔබේ දරුවන්ට ලිංගික කාරණා ගැන සත්‍යය පහදා දෙන්න. මෙක්සිකෝවේ එක් මවක් පැවසූ මේ දෙය සලකා බලන්න. “මගේ දරුවන්ට මම නිතරම කියලා දෙන්න උත්සාහ කරන්නේ විවාහ වූ යුවළකට ලිංගික සම්බන්ධකම් පවත්වන්න ලැබීම යෙහෝවා දෙවිගෙන් ලද දායාදයක් කියලයි. දෙවි ඒ හැකියාව මිනිසුන්ට දීලා තියෙන්නේ ජීවිතය සතුටින් ගත කරන්න කියලත් මම දරුවන්ට පැහැදිලි කරනවා. හැබැයි ඒ වටිනා දායාදය හරි විදිහට පාවිච්චි කළේ නැත්නම් හුඟක් දුක් විඳින්න වෙයි කියලත් මම දරුවන්ට කියලා දෙනවා.”

මෙය අත්හදා බලන්න: ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට ලැබීම දෙවිගෙන් ලැබී තිබෙන දායාදයක් කියාත් විවාහ වූ පසුව ඔවුන්ටත් ඒ දායාදය භුක්ති විඳිය හැකි බවත් පවසන්න. එතෙක් යෙහෝවා දෙවිගේ ප්‍රතිපත්ති රකිමින් ලිංගික සම්බන්ධකම් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතුයි කියා ඔවුන්ට කාවද්දන්න.

ප්‍රතිඵල ගැන සිතා බැලීමට දරුවන්ව පුහුණු කරන්න.

හරි දේ හා වැරදි දේ කුමක්ද කියා දැන සිටි පමණින් දරුවෙක් නිවැරදි තීරණයක් ගනියි කියා සිතන්න බැහැ. ඕස්ට්‍රේලියාවේ වෙසෙන එක් ක්‍රිස්තියානි කාන්තාවක් මෙසේ පැවසුවා. “යෞවන කාලයේදී මගේ අතින් වුණු වැරදි ගැන හිතන කොට මට එක දෙයක් පැහැදිලියි. ඒ තමයි, දෙවිගේ ප්‍රතිපත්ති දැන සිටිය පමණින් අපි ඒ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙයි කියලා හිතන්න පදනමක් නැති බව. හැබැයි ඒ ප්‍රතිපත්ති ආරක්ෂා කළොත් ලැබෙන හොඳ ප්‍රතිඵල හා ඒවා කඩ කළොත් අද්දකින්න සිදු වෙන හානිකර ප්‍රතිඵල ගැන හොඳින් දැනගෙන ඉන්නවා නම් හරි දේ කරන්නත් වැරදි දේ නොකරන්නත් පුළුවන් වෙනවා.”

ඒ සඳහා අපට උපකාරයක් ලෙස බයිබලයේ බොහෝ අවස්ථාවල වැරදි දේවල් කිරීමෙන් කෙනෙකුට අද්දකින්න සිදු වන ප්‍රතිවිපාක ගැන සඳහන් වෙනවා. උදාහරණයකට වේශ්‍යාකමේ නියැලෙන අය ‘නින්දාවට පත් වනු ඇත’ කියා එහි සඳහන් වෙනවා. (හිතෝපදේශ 5:8, 9) එය කොතරම් සත්‍යයක්ද! විවාහ වීමට කලින් ලිංගික ඇසුරේ යෙදෙන අය තමන්ගේ චරිතයට කැළැලක් ඇති කරගන්නා අතර දෙවිට කරන නමස්කාරයට එය බාධාවක් වෙනවා. ගුණ යහපත් කෙනෙක් එවැනි කෙනෙකුව විවාහ කරගන්න පවා අකමැති වෙන්න පුළුවන්. එවැනි දේවල් දැන සිටීම ලිංගික සම්බන්ධකම් ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති පිළිපැදීමට මහත් පිටුවහලක් වෙනවා. *

මෙය අත්හදා බලන්න: ලිංගික කාරණා ගැන දෙවිගේ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ හා කඩ කිරීමේ ප්‍රතිඵල උදාහරණ යොදාගෙන දරුවන්ට කියා දෙන්න. ඔබට මෙවැනි උදාහරණයක් යොදාගත හැකියි. “ගින්දරවලින් කෑම උයාගෙන බඩගින්න නිවාගන්න පුළුවන්. හැබැයි ගින්දර නිසා ළැව් ගින්නක් ඇතිවෙලා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්.” පසුව දරුවාගෙන් මෙසේ අසන්න. “ඒ දෙකේ වෙනස මොකක්ද? ලිංගික සම්බන්ධකම් ගැන බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමේ වැදගත්කම ඒ උදාහරණයෙන් පැහැදිලි කරන්න පුළුවන්ද?” දෙවිගේ ප්‍රතිපත්ති කඩ කිරීමේ හානිකර ප්‍රතිඵල ගැන දරුවාට කියා දීමට හිතෝපදේශ 5:3-14 දක්වා ඇති තොරතුරුද යොදාගන්න.

ජපානයේ ජීවත් වන 18 හැවිරිදි ටකාවෝ මෙසේ පැවසුවා. “මම හරි දේ කරන්න ඕනේ කියලා මං දන්නවා. ඒත් වැරදි ආශාවන් යටපත් කරගන්න එක ලෙහෙසි නැහැ.” යෞවනයන්ට එලෙස හැඟෙනවා නම් ඔවුන් අධෛර්යයට පත් විය යුතු නැහැ. තවත් බොහෝදෙනෙකුටත් එලෙස හැඟුණා. උදාහරණයකට විශ්වාසවන්ත ක්‍රිස්තියානියෙක් වූ පාවුල් තුළත් එවැනි හැඟීම් ඇති වුණා. “මා හරි දේ කිරීමට කැමැත්තෙන් සිටියත් මා තුළින් ඉස්මතු වන්නේ වැරදි දේ කිරීමට තිබෙන නැඹුරුවාවයි” කියා ඔහු පැවසුවේ ඒ නිසයි.—රෝම 7:21.

වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කිරීමට සිදු වීමෙන් යම් හොඳක් සිදු වෙන බවත් දරුවන් තේරුම්ගත යුතුයි. ‘මම වැරදි ආශාවන්ට ඉඩ නොදී අන් අයගේ ගෞරවය දිනාගෙන දෙවිට විශ්වාසවන්තව සිටිනවාද’ නැත්නම් ‘අනික් අය කරන වැරදිම මාත් කරනවාද’ යන ප්‍රශ්නවලට පෞද්ගලිකව උත්තරයක් දීමට ඉන් දරුවන්ට අවස්ථාව ලැබෙනවා. ඔබේ දරුවන්ගේ සිත් තුළ ලිංගික කාරණා ගැන නිවැරදි ප්‍රතිපත්ති පැළපදියම් වී තිබෙනවා නම් ඒ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරක් සැපයීමට ඔවුන් සමත් වෙයි.

^ 3 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 10 ඡේ. දරුවන්ගේ වයසට සරිලන ලෙස ඔවුන්ව ලිංගික කාරණා ගැන දැනුවත් කරන්නේ කෙසේද කියා දැනගැනීමට 2010 නොවැම්බර් 1 මුරටැඹ සඟරාවේ 12 සිට 14 දක්වා පිටු බලන්න.

^ 22 ඡේ. වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන 2010 අප්‍රියෙල් පිබිදෙව්! සඟරාවේ “යෞවන අය අසති, ආදරය වෙනුවෙන් ඕනෑම දෙයකට ඉඩ දීම හරිද?” නමැති ලිපිය බලන්න.

ඔබගෙන්ම මෙසේ අසාගන්න . . .

  • ලිංගික කාරණා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිපත්ති දරුවන්ට කාවැදී තිබෙන බව සහතික කරගැනීමට මට තිබෙන සාක්ෂි මොනවාද?

  • ලිංගික කාරණා සම්බන්ධයෙන් දරුවන්ව දැනුවත් කරන විට මම මූලිකවම එය විස්තර කරන්නේ දෙවිගෙන් ලැබී තිබෙන දායාදයක් ලෙසද? නැත්නම් භයානක දෙයක් ලෙසද?