Skip to content

පටුනට යන්න

සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්

සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්

 ඉස්සරහට මේ ලෝකේ තත්වය හොඳ අතට හැරෙයි කියලා ඔයා හිතනවාද? කොච්චර ප්‍රශ්නවලට මුහුණ දුන්නත් හුඟක් අය හිතන්නේ ලෝකේ තත්වය මොන විදිහකින් හරි හොඳ අතට හැරෙයි කියලයි. ඒත් ඇත්තටම එහෙම වෙයි කියලා අපිට හිතන්න පුළුවන්ද? ඔව්, මොකද බයිබලේ අපේ අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් දීලා තියෙනවා.

 බයිබලේ දීලා තියෙන බලාපොරොත්තුව මොකක්ද?

 මිනිසුන් විදිහට අපිට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා කියලා බයිබලේ කියනවා. හැබැයි ඒ ප්‍රශ්න නිසා අපිට හැමදාටම දුක් විඳින්න වෙන්නේ නැහැ කියලත් බයිබලේ පොරොන්දු වෙලා තියෙනවා. ඒකට උදාහරණ කීපයක් බලන්න.

  •   ප්‍රශ්නය: ගෙවල් නැතිකම

     බයිබලයේ මෙහෙම කියනවා. “ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය.”—යෙසායා 65:21.

     ඒක වෙන්නේ කොහොමද? හැම කෙනෙක්ටම තමන්ට කියලා ගෙයක් දොරක් තියෙන්න යනවා.

  •   ප්‍රශ්නය: රැකියා නැතිකම සහ දුප්පත්කම

     බයිබලයේ මෙහෙම කියනවා. “මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.”—යෙසායා 65:22.

     ඒක වෙන්නේ කොහොමද? තමන් කරන වැඩවලින් සතුටක්, තෘප්තියක් සහ හොඳ ප්‍රතිඵල ලබන්න හැමෝටම පුළුවන් වෙනවා.

  •   ප්‍රශ්නය: අයුක්තිය

     බයිබලයේ මෙහෙම කියනවා. “යුක්තිය ඉටු කිරීමට පාලකයන්ව පත් කරනු ලබයි.”—යෙසායා 32:1.

     ඒක වෙන්නේ කොහොමද? ජාතිය, සමාජ මට්ටම, දුප්පත් පොහොසත්කම වගේ හේතු නිසා කවුරුත් කාටවත් අසාධාරණ විදිහට සලකන්න යන්නේ නැහැ. හැමෝටම සාධාරණය ඉටු වෙන්න යනවා.

  •   ප්‍රශ්නය: කුසගින්න සහ මන්දපෝෂණය

     බයිබලයේ මෙහෙම කියනවා. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

     ඒක වෙන්නේ කොහොමද? හැමෝටම ඇති තරම් පෝෂ්‍යදායි කෑම තියෙන්න යනවා. කිසි කෙනෙක් බඩගින්නේ නින්දට යන්නේවත් මන්දපෝෂණය නිසා දුක් විඳින්නේවත් නැහැ.

  •   ප්‍රශ්නය: අපරාධ සහ හිංසනය

     බයිබලයේ මෙහෙම කියනවා. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත.”—මීකා 4:4.

     ඒක වෙන්නේ කොහොමද? දුෂ්ට මිනිසුන් නැති වෙලා “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්න” නිසා හැම කෙනෙක්ටම සාමයෙන් සහ සුරක්ෂිතව ඉන්න පුළුවන් වෙනවා.—ගීතාවලිය 37:10, 29.

  •   ප්‍රශ්නය: යුද්ධ

     බයිබලයේ මෙහෙම කියනවා. “ජාතීහු තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නෝය. ඔවුහු තවදුරටත් එකිනෙකාට විරුද්ධව කඩු ඔසවන්නේවත් යුද්ධයට පුහුණු වන්නේවත් නැත.”—යෙසායා 2:4.

     ඒක වෙන්නේ කොහොමද? මුළු පොළොවටම සාමය උදා වෙන්න යනවා. (ගීතාවලිය 72:7) ඒ කාලේදී කාටවත් තමන් ආදරේ කරපු කෙනෙක් යුද්ධයේදී මැරුණ නිසා අඬන්න වෙන්නේවත් සරණාගත කඳවුරුවල ඉන්න වෙන්නේවත් නැහැ.

  •   ප්‍රශ්නය: රෝග සහ ආබාධ

     බයිබලයේ මෙහෙම කියනවා. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

     ඒක වෙන්නේ කොහොමද? ආයේ කිසිම කෙනෙක් අසනීප නිසාවත් ශාරීරික ආබාධ නිසාවත් දුක් විඳින්නේ නැහැ. (යෙසායා 35:5, 6) ඒ වගේම “මරණයද තවත් නොවන්නේය” කියලත් බයිබලේ කියනවා.—එළිදරව් 21:4.

  •   ප්‍රශ්නය: පරිසර දූෂණය

     බයිබලයේ මෙහෙම කියනවා. “වැලි කතරද වියළි දේශයද සතුටෙන් පිනා යන්නේය. පාළුකරය කෙතේ මලක් මෙන් පිබිදී ප්‍රීතියෙන් ඉපිල යන්නේය.”—යෙසායා 35:1.

     ඒක වෙන්නේ කොහොමද? දෙවියන් මුලින් අරමුණු කරපු විදිහටම මුළු පොළොවම පාරාදීසයක් වෙන්න යනවා.—උත්පත්ති 2:15; යෙසායා 45:18.

 බයිබලේ දීලා තියෙන පොරොන්දුව නිකම්ම සුරංගනා කතාවක්ද?

 එකපාරටම ඔයාට එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි අපේ අනාගතය ගැන බයිබලේ කියලා තියෙන දේවල් ටිකක් හොයලා බලන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. මොකද බයිබලේ තියෙන පොරොන්දු මිනිසුන් දීලා තියෙන පොරොන්දුවලට සහ මිනිසුන් ඉස්සරහට වෙයි කියලා හිතාගෙන ඉන්න දේවල්වලට වඩා ගොඩක් වෙනස්. ඒ පොරොන්දු දීලා තියෙන්නේ දෙවියන්. දෙවියන් දීලා තියෙන පොරොන්දු විශ්වාස කරන්න පුළුවන් ඇයි කියලා අපි බලමු.

  •   දෙවියන් විශ්වාසවන්තයි. බයිබලේ කියනවා දෙවියන් කවදාවත් “බොරුවක්” කියන්නේ නැහැ කියලා. (තීතස් 1:2) ඒ වගේම අනාගතේදී වෙන්නේ මොනවාද කියලා හරියටම කියන්න හැකියාව තියෙන්නෙත් දෙවියන්ට විතරයි. (යෙසායා 46:10) දෙවියන් අනාගතය ගැන කියන දේවල් ඒ විදිහටම ඉටු වෙනවා කියලා කියන්න ඕන තරම් සාක්ෂි බයිබලේ තියෙනවා. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න ‘බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?’ කියන වීඩියෝ එක බලන්න.

  •   අපේ ප්‍රශ්න විසඳන්න දෙවියන්ට බලය තියෙනවා. ‘තම කැමැත්ත පරිදි බොහෝ දේවල් කරන්න’ දෙවියන්ට බලය තියෙනවා කියලා බයිබලේ කියනවා. (ගීතාවලිය 135:5, 6) තව විදිහකින් කියනවා නම් දෙවියන්ගේ පොරොන්දු ඉටු වෙන එක නවත්තන්න කාටවත්ම බැහැ. ඒ වගේම දෙවියන් ඒ හැම දෙයක්ම කරන්නේ අපිට තියෙන ආදරේ නිසයි.—යොහන් 3:16.

 ඒත් ඔයාට හිතෙයි ‘අපේ ප්‍රශ්න විසඳන්න දෙවියන්ට බලය තියෙනවා නම් ඒ දේ කරන්න ඔහු කැමැත්තෙනුත් ඉන්නවා නම් ඇයි අපි තාමත් දුක් විඳින්නේ?’ කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්න ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

 ඒ පොරොන්දුව ඉටු වෙන්න යන්නේ කොහොමද?

 දෙවියන් ඒ හැම පොරොන්දුවක්ම ඉටු කරන්න යන්නේ දේවරාජ්‍යය කියලා හඳුන්වන ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක් මාර්ගයෙන්. දෙවියන් ඒ ආණ්ඩුවේ පාලකයා විදිහට යේසුස්ව පත් කරලා මේ පොළොවත් එකේ ඉන්න අයවත් රැකබලා ගන්න යේසුස්ට භාර දීලා තියෙනවා. යේසුස් පොළොවේ හිටපු කාලේදී අසනීප අයව සුව කළා, බඩගින්නේ හිටපු අයට කන්න දුන්නා, ස්වාභාවික විපත් නැවැත්තුවා ඒ වගේම මැරුණු අයට ආපහු ජීවිතය දුන්නා. (මාක් 4:39; 6:41-44; ලූක් 4:40; යොහන් 11:43, 44) එහෙම කරපු එකෙන් යේසුස් පෙන්නුවේ අනාගතේදී දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුට ඒ දේවල් කරන්න පුළුවන් කියලයි.

 දේවරාජ්‍යයෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන ගැන දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.

 ඒක ඉටු වෙන්නේ කවදාද?

 ළඟදීම. අපි කොහොමද ඒක හරියටම දන්නේ? දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්න ළං වෙද්දී පොළොවේ වෙන සිද්ධීන් ගැන බයිබලේ කලින්ම කියලා තිබුණා. (ලූක් 21:10, 11) බයිබලේ කියපු ඒ දේවල් දැන් අපේ ඇස් පනාපිටම සිද්ධ වෙනවා.

 ඒ ගැන වැඩි විස්තර දැනගන්න “දේවරාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නේ කවදාද?” කියන ලිපිය බලන්න.

 ඒ බලාපොරොත්තුව දැන් අපිට උදව් වෙන්නේ කොහොමද?

 බයිබලේ දීලා තියෙන ඒ බලාපොරොත්තුව “අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය” කියලා එක බයිබල් ලේඛකයෙක් ලිව්වා. (හෙබ්‍රෙව් 6:19) කුණාටුවකට අහු වුණ නැවකට ඒ මේ අත ගහගෙන යන්නේ නැතුව ඉන්න නැංගුරමක් උදව් වෙනවා වගේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්න වුණත් ශක්තිමත්ව ඉන්න බයිබලේ දීලා තියෙන බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. අපිට දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව නිසා සතුටින් ඉන්නත් හොඳට හිතලා බලලා දේවල් කරන්නත් නිරෝගීව ඉන්නත් අපිට පුළුවන් වෙනවා.—1 තෙසලෝනික 5:8.