Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

බලාපොරොත්තුවක් ඇතුව සිටීම

බලාපොරොත්තුවක් ඇතුව සිටීම

“මාගේ අරමුණ වන්නේ ඔබ පිටට විපත්ති ගෙන ඒම නොවේ. නමුත් සාමයෙන් පිරුණු ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් ඔබට ලබා දීමය.”—යෙරෙමියා 29:11.

“අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න එක කෙනෙක්ගේ ජීවිතේට සතුටක් ගෙන දෙනවා. අසරණකම, බය, තනිකම වගේ හැඟීම්වලින් යටපත් නොවී ඉන්නත් බලාපොරොත්තුව අපිට උදව් වෙනවා” කියලා එක පොතක සඳහන් වෙනවා.—Hope in the Age of Anxiety.

බයිබලයෙත් කියනවා බලාපොරොත්තුව ජීවිතේට ගොඩක් වැදගත් කියලා. ඒත් බයිබලයේ අපිට මෙහෙම අනතුරු ඇඟවීමකුත් දීලා තියෙනවා. “වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න.” (ගීතාවලිය 146:3) එතන කියන විදිහට අපේ ප්‍රශ්න ගැටළුවලට ස්ථිර විසඳුමක් දෙන්න මිනිසුන්ට හැකියාවක් නැහැ. ඒත් අපිව නිර්මාණය කරපු දෙවියන් ඊට වඩා වෙනස්. ඔහුට අසීමිත බලයක් තියෙනවා. ඒ නිසා ඔහුට පුළුවන් ඔහු දීලා තියෙන හැම පොරොන්දුවක්ම ඉටු කරන්න. දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ මොන වගේ දේවල්ද? ඒවායෙන් කීපයක් බලමු.

දුෂ්ටයන්ගේ විනාශයෙන් පස්සේ ධර්මිෂ්ඨයන් හැමදාම සාමයෙන් ජීවත් වෙන්න යනවා. ‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය. දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.’ (ගීතාවලිය 37:10, 11) ඒ වගේම ‘ධර්මිෂ්ඨයෝ සදාකල් ජීවත් වෙනවා’ කියලත් බයිබලයේ කියනවා.—ගීතාවලිය 37:29.

යුද්ධ ඇති වෙන්නේ නැහැ. ‘යෙහෝවා දෙවි පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.’—ගීතාවලිය 46:8, 9.

අසනීප, දුක් වේදනා, මරණය නැති වෙනවා. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4.

ඇති තරම් ආහාර තියෙනවා. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

එක ආණ්ඩුවක් මුළු ලෝකයම පාලනය කරන්න යනවා. ඒකේ රජ යේසුස්. ‘සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් යේසුස් ක්‍රිස්තුස්ට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.’—දානියෙල් 7:14.

ඒ පොරොන්දු ඉටු වෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්ද? ඔව්, යේසුස් මේ පොළොවේ ඉද්දී අසනීප සුව කළා. කන්න නැති අයට කන්න දුන්නා. මැරුණ අයට ආයෙත් ජීවිතය ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි හැමදාටම සාමයෙන්, එක්සත්ව ජීවත් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම් යේසුස් ඉගැන්නුවා. ඒ වගේම මේ දුෂ්ට සමාජය විනාශ වෙන්න කලින් සිද්ධ වෙන්න යන දේවල් ගැනත් ඔහු සඳහන් කළා.

කැලඹිලිකාර තත්වයක්!

අවසාන කාලයේදී සාමකාමී, සුරක්ෂිත වාතාවරණයක් ඇති වෙනවා කියලා යේසුස් කිව්වේ නැහැ. ඒ වෙනුවට ලොව පුරාම යුද්ධ, සාගත, වසංගත, දරුණු භූමිකම්පා වගේ දේවල් සිදු වෙනවා කියලයි ඔහු කිව්වේ. ඒවා “පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය” අඳුනගන්න ලකුණක්. (මතෙව් 24:3, 7; ලූක් 21:10, 11; එළිදරව් 6:3-8) ‘අධර්මිෂ්ඨ ක්‍රියා වැඩි වන නිසා වැඩිදෙනාගේ ප්‍රේමයද හීන වී යනවා’ කියලත් ඔහු කිව්වා.—මතෙව් 24:12.

“අවසාන කාලයේ” ජීවත් වෙන අයගේ ගතිගුණ එන්න එන්නම පිරිහෙනවා කියලත් බයිබලයේ කියනවා. (2 තිමෝති 3:1-5) අවසාන කාලයේ ඉන්න වැඩි දෙනෙක් තමන් ගැන විතරක් හිතන, සල්ලිවලට කෑදර, විනෝදයට ඇල්මක් දක්වන, උඩඟු, දරුණු, තමන්ගේම පවුලේ අයටවත් ආදරයක් නැති, දෙමාපියන්ට අකීකරු වෙන, ආගම අදහනවා කියලා බොරුවට මවාපාන අයයි.

අද තියෙන කැලඹිලිකාර තත්වය අපි ඉන්නේ අවසාන කාලයේ කියන දේ සහතික කරනවා. ඒ විතරක් නෙමෙයි දෙවියන්ගේ රාජ්‍යයෙන් මේ පොළොව පාලනය කරන කාලය වැඩි ඈතක නෙමෙයි කියන දේත් ඒකෙන් තහවුරු කරනවා. අවසාන කාලයේ සිද්ධ වෙන තවත් දෙයක් ගැන යේසුස් මෙහෙම කිව්වා. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.

ඒ ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරන නිසා වැරදි කරන අයට ජීවිත වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම දෙවියන් දීලා තියෙන පොරොන්දු ඉක්මනින්ම ඉටු වෙනවා කියන සහතිකය ධර්මිෂ්ඨ අයට ලැබෙනවා. දෙවියන් අනාගතයේදී අපි වෙනුවෙන් කරන්න යන තවත් දේවල් ගැන දැනගන්න ඔයා කැමතිද? ඒකට මේ සඟරාවේ අන්තිම පිටුව බලන්න.