Skip to content

පවුලේ හැමෝටම මඟ පෙන්වීම්

චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .

චණ්ඩි ළමයි මගේ දරුවාට හිරිහැර කළොත් . . .

 ඔයාගේ දරුවා ඇවිත් කිව්වොත් ඉස්කෝලේ ළමයෙක් එයාට හිරිහැර කරනවා කියලා ඔයා මොකද කරන්නේ? හිරිහැර කරන දරුවාට දඬුවම් කරන්න කියලා ඉස්කෝලෙට දැනුම් දෙනවාද? හිරිහැර කරපු දරුවා එක්ක ගහගන්න නැත්නම් එකට එක කරන්න දරුවාට උගන්වනවාද? කරන්න ඕනෙ මොකක්ද කියලා තීරණය කරන්න කලින් හිරිහැර කරන එකට අදාළ තොරතුරු ටිකක් බලන්න.

 චණ්ඩි ළමයි හිරිහැර කරන එක ගැන මං දැනගන්න ඕනෙ මොනවාද?

 හිරිහැර කරනවා කියලා කියන්නේ මොකක්ද? හිරිහැර කරනවා කියලා කියන්නේ කෙනෙක් හිතාමතාම, දිගින් දිගටම තව කෙනෙක්ට ශාරීරිකව හරි මානසිකව හරි වධ දෙන එකටයි. ඒ නිසා කෙනෙක් වතාවක්, දෙවතාවක් දරුවාට අපහාස කළොත් නැත්නම් අකාරුණික විදිහට සැලකුවොත් ඒක හිරිහැර කිරීමක් කියලා හිතන්න එපා.

 හිරිහැර කරනවා කියන එකෙන් අදහස් වෙන දේ හරියටම තේරුම්ගන්න එක වැදගත් ඇයි? මොනම විදිහකින් හරි අනිත් අයව අපහසුතාවට පත් වෙන විදිහට කෙනෙක් හැසිරුණොත් ඒක “හිරිහැරයක්” කියලා සමහරු හිතනවා. ඒත් දරුවාට මුහුණ දෙන්න වෙන පුංචි පුංචි කාරණාවලටත් ඔයා මැදිහත් වෙන්න ගියොත් අනිත් අයත් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න දරුවා ඉගෙනගන්න එකක් නැහැ. එහෙම වුණොත් එයා වැඩිහිටියෙක් වුණාම හුඟක් අසරණ වෙයි.

 බයිබල් ප්‍රතිපත්තිය: “අමනාප වීමට ඉක්මන් නොවන්න.”—දේශනාකාරයා 7:9.

 මේක මතක තියාගන්න: දරුවාට මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්න විසඳගන්න ඔයාගේ උදව් ඕනෙ වෙයි. ඒත් සමහර කාරණා දරුවාටම විසඳගන්න ඉඩ දෙන එක හොඳයි. මොකද එහෙම කළොත් විතරයි වැඩිහිටියෙක් වුණාට පස්සෙත් අනිත් අයත් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්න එයාට පුළුවන් වෙන්නේ.—කොලොස්සි 3:13.

 කවුරු හරි කෙනෙක් හිතාමතාම දිගින් දිගටම දරුවාට හිරිහැර කරනවා කියලා දරුවා කිව්වොත් මොකද කරන්නේ?

 උදව් කරන්න පුළුවන් කොහොමද?

  •   දරුවා කතා කරද්දී ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. (1) ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලත් (2) එහෙම වෙලා තියෙන්නේ ඇයි කියලත් හොඳට හොයලා බලන්න. ඒ ගැන හොයලා බලන්න කලින් ඉක්මන් තීරණ ගන්න එපා. හැම කාසියකම දෙපැත්තක් තියෙනවා කියලා අමතක කරන්න එපා. දරුවා ඔයාට කිව්වේ නැති දේවලුත් තියෙනවාද කියලා හොයලා බලන්න. සමහරවිට ඒ තොරතුරු ගැන දැනගන්න දරුවාගේ පංති භාර ගුරුවරයා එක්ක හරි දරුවාට හිරිහැර කරපු දරුවාගේ දෙමාපියන් එක්ක හරි කතා කරන්න වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.”—හිතෝපදේශ 18:13.

  •   කවුරු හරි කෙනෙක් දරුවාට ඇත්තටම හිරිහැර කරනවා නම් දරුවා ඒකට ප්‍රතිචාරය දක්වන විදිහ අනුව තත්වය හොඳ අතට හරි තවත් නරක අතට හරි හැරෙන්න පුළුවන් කියන දේ තේරුම්ගන්න දරුවාට උදව් කරන්න. උදාහරණෙකට බයිබලයේ කියන මේ දේ බලන්න. “මෘදු පිළිතුරකින් කෝපය නිවී යයි. නමුත් සිත රිදවන වචනයකින් තරහ උපදවයි.” (හිතෝපදේශ 15:1) එකට එක කරන්න ගියොත් වෙන්නේ තත්වය තවත් බරපතළ වෙන එකයි. ඒක හරියට ඇවිළෙන ගින්නට පිදුරු දානවා වගේ දෙයක්.

     බයිබල් ප්‍රතිපත්තිය: “නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකරන්න.”—1 පේතෘස් 3:9.

  •   එකට එක කරන්නේ නැත්තේ කොන්ද පණ නැති අයයි කියන අදහස වැරදියි කියලා දරුවාට තේරුම් කරලා දෙන්න. ඒ වගේම එකට එක කරන එකෙන් වෙන්නේ අනිත් අයට තමන්ව පාලනය කරන්න ඉඩ දෙන එකයි කියලත් එහෙම නොකර ඉන්නේ ශක්තිමත් මනසක් තියෙන අයයි කියලත් දරුවාට පැහැදිලි කරන්න. හිරිහැර කරන කෙනාගෙන් බේරෙන්න ඒ කෙනාගේ තත්වයටම බහින්න ඕනෙ නැහැ කියන දේ දරුවා තේරුම්ගන්න එක වැදගත්.

     විශේෂයෙන්ම දරුවා සයිබර් හිංසනයට ලක් වෙලා තියෙනවා නම් ඒක මතක තියාගන්න එක හරිම වැදගත්. කේන්ති අරන් දිගින් දිගටම ඒ කෙනාට බැනලා මෙසේජ් දාන්න ගියොත් ඒ කෙනා තව තවත් වැඩියෙන් දරුවාට හිරිහැර කරයි. ඒ නිසා සමහර වෙලාවට කරන්න ඕන හොඳම දේ තමයි කිසිම දෙයක් නොකර ඉන්න එක. එතකොට හිරිහැර කරන කෙනා නිකම්ම නතර වෙයි.

     බයිබල් ප්‍රතිපත්තිය: ‘දර නැති විට ගින්න නිවී යයි.’—හිතෝපදේශ 26:20.

  •   දරුවාට කියන්න එයාට හිරිහැර කරන අයව මඟහරින්න පුළුවන් හැම අවස්ථාවකදීම ඒ දේ කරන්න කියලා. උදාහරණෙකට එයාට හිරිහැර කරන අය හුඟක් වෙලාවට ඉන්නේ කොහේද කියලා දන්නවා නම් ඒ තැන් මඟහැරලා වෙන තැනකින් යන්න කියලා දරුවාට කියන්න.

     බයිබල් ප්‍රතිපත්තිය: “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝපදේශ 22:3.

සමහරවිට දරුවාගේ පන්ති භාර ගුරුවරයා එක්ක හරි හිරිහැර කරන දරුවාගේ දෙමාපියන් එක්ක හරි ඔයාට කතා කරන්න වෙයි

 මෙහෙම කරන්න: දරුවාට කරන්න පුළුවන් දේවල හොඳ පැති ගැනත් නරක පැති ගැනත් හිතන්න දරුවාට උදව් කරන්න. උදාහරණෙකට:

  •  කෙනෙක් හිරිහැර කරද්දී ඒක ගණන් ගන්නේ නැතුව හිටියොත් මොනවා වෙයිද?

  •  හිරිහැර කරන එක නවත්වන්න කියලා දරුවා කෙළින්ම එයාට කිව්වොත් මොනවා වෙයිද?

  •  හිරිහැර කරන දරුවා ගැන ඉස්කෝලෙට දැනුම් දුන්නොත් මොනවා වෙයිද?

  •  හිරිහැර කරන දරුවාට කාරුණිකව සලකලා හරි පොඩි විහිළුවක් කරලා හරි එයාව දිනාගන්න පුළුවන් වෙයිද?

 දරුවාට හිරිහැර කරන කෙනා ඒ දේ කරන්නේ අන්තර්ජාලය හරහා වුණත් දරුවාව මුණගැහෙන අවස්ථාවලදී වුණත් ඒ හැම අවස්ථාවක්ම දරුවාට අභියෝගයක් කියලා මතක තියාගන්න. ඒ නිසා දරුවා එක්ක එකතු වෙලා ඒකට ගැළපෙන විසඳුමක් හොයාගන්න. ඔයා දිගටම දරුවාත් එක්ක ඉඳලා ඒක විසඳගන්න එයාට උදව් කරනවා කියලා දරුවාට කියන්න.

 බයිබල් ප්‍රතිපත්තිය: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.