Skip to content

පටුනට යන්න

වෛරයේ ගිනිදලු නිවලා දාන්න පුළුවන් කොහොමද?

2 | පළිගන්න එපා

2 | පළිගන්න එපා

බයිබලයේ උගන්වන දේ:

“කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න. පළිගැනීමෙන් වළකින්න. ‘යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය’ කියා යෙහෝවා දෙවි පවසන්නේය.”රෝම 12:17-19.

ඒකෙන් අදහස් වෙන දේ:

කවුරු හරි අපිට වරදක් කළාම කේන්ති යන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ කෙනාගෙන් පළිගන්න එකට දෙවියන් කැමති නැහැ. දෙවියන් ළඟදීම හැම අසාධාරණයක්ම විසඳනවා. ඒ නිසා ඔහු අපිට කියන්නේ ඔහු ගැන විශ්වාසය තියලා ඉවසීමෙන් බලන් ඉන්න කියලයි.—ගීතාවලිය 37:7, 10.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

අපි පව්කාර අය නිසා අපිට වෙච්ච අසාධාරණයකට පළිගන්න ගියොත් වෙන්නේ වෛරයේ ගිනිදලු තව තවත් ඇවිළෙන එක විතරයි. ඉතින් කවුරු හරි කෙනෙක් ඔයාගේ හිත රිද්දලා තියෙනවා නම් ඔයාට ලොකු වරදක් කරලා තියෙනවා නම් එකට එක කරන්න යන්න එපා. ඒ වගේ වෙලාවට ඔයාවම පාලනය කරගෙන එයාත් එක්ක සමාදානයෙන් වැඩ කරන්න උත්සාහ කරන්න. සමහර වෙලාවට එයා අතින් වෙච්ච වරද අමතක කරලා දාන එක තමයි හොඳම දේ. (හිතෝපදේශ 19:11) ඒත් ඔයාට තේරෙයි සමහර ප්‍රශ්න විසඳගන්න නම් ඒ ගැන කතා කරන්න ඕනෙ කියලා. උදාහරණයකට කවුරු හරි කෙනෙක් ඔයාගෙන් දෙයක් හොරකම් කරලා තියෙනවා නම් ඔයා තීරණය කරයි ඒ ගැන පොලීසියට හරි වගකිව යුතු බලධාරියෙක්ට හරි දැනුම් දෙන්න.

පළිගන්න එකෙන් හානියක් වෙන්නේ අපිටමයි

ඒත් ප්‍රශ්නේ සමාදානෙන් විසඳගන්න බැරි නම් ඔයාගේ පැත්තෙන් හැම දෙයක්ම කළත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් මොකක්ද කරන්න පුළුවන්? එහෙම වුණත් පළිගන්න එපා. ඒකෙන් වෙන්නේ ප්‍රශ්නේ දුර දිග ගිහින් වෛරයේ ගිනිදලු තව තවත් ඇවිළෙන එකයි. ඒ වගේ වෙලාවට දෙවියන්ව විශ්වාස කරලා ඔහු කියන විදිහට ප්‍රශ්නේ විසඳගන්න පුරුදු වෙන්න. ‘දෙවියන් මත රඳා සිටින්න. එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගන්නවා.’—ගීතාවලිය 37:3-5.