Skip to content

පටුනට යන්න

ලෝක විනාශය ළඟයි කියලා “ඩූම්ස් ඩේ ක්ලෝක්” ඒකේ පෙන්නුවත් පොළොව විනාශ වෙන්නේ නැහැ කියලත් මිනිසුන්ට ප්‍රීතිමත් අනාගතයක් තියෙනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා

මුල් පිටුවෙන් | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

අද ලෝකයේ තත්වය ගැන මිනිස්සු බයෙන් හිටියත් මේ වගේ තත්වයක් ඇති වෙනවා කියලා අවුරුදු දහස් ගාණකට කලින් බයිබලයේ සඳහන් වෙලා තිබුණා. ඒ වගේම මිනිසුන්ට දීප්තිමත් අනාගතයක් තියෙනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. බයිබලේ තියෙන දේවල් නිකම්ම සුරංගනා කතා කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. මොකද ඒකේ තියෙන අනාවැකි මේ දක්වා අකුරක් නෑර ඉටු වෙලා තියෙනවා.

බයිබලේ තියෙන මේ අනාවැකි බලන්න:

  • “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි. එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වෙයි.”—මතෙව් 24:7.

  • “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙන බව ඔබ දැනගත යුතුයි. මන්ද මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත.”—2 තිමෝති 3:1-4.

‘අද අපි අද්දකින්නෙත් ඒ දේවල්මනේ’ කියලා ඔයාට හිතුණාද? ඇත්තටම මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් කාටද? කිසිම මිනිසෙක්ට මේ ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් දෙන්න හැකියාවවත්, බලයවත් නැහැ කියලා බයිබලයේ කියනවා. ඒ ගැන බයිබලේ තියෙන අනාවැකි බලන්න:

  • “මිනිසාට නිවැරදියයි පෙනෙන මඟක් ඇත. එහෙත් එය අවසන් වන්නේ මරණයෙනි.”—හිතෝපදේශ 14:12.

  • “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.

  • ‘ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැත’—යෙරෙමියා 10:23.

මේ යන විදිහට නම් ලෝකය ඉතුරු වෙන එකක් නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. බලන්න බයිබලේ කියලා තියෙන මේ අනාවැකි:

  • “ඔබ පොළොව ස්ථිර ලෙස පිහිටෙව්වෙහිය. එය කිසිදා නොසෙල්වෙන අයුරින් සෑදුවෙහිය”—ගීතාවලිය 104:5.

  • “පරම්පරාවක් පහව යයි. තවත් පරම්පරාවක් බිහි වෙයි. එහෙත් පොළොව සදහටම පවතියි.”—දේශනාකාරයා 1:4.

  • “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.”—ගීතාවලිය 37:29.

  • “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”—ගීතාවලිය 72:16.

දෙවියන් දීලා තියෙන ඒ පොරොන්දු මොන තරම් සහනයක්ද! පරිසර දූෂණය නිසාවත්, අහාර සහ ජල හිඟය නිසාවත් වසංගතවලින්වත් මිනිසුන් පොළොවෙන් තුරන් වෙලා යන්නේ නැහැ. න්‍යෂ්ටික පිපිරීමක් නිසා මේ පොළොව නැත්තටම නැති වෙලා යන්නෙත් නැහැ. ඒ වගේ දෙයක් වෙන්න විශ්වය නිර්මාණය කරපු දෙවියන් ඉඩ දෙන්නේ නැහැ කියලා අපි බලපු අනාවැකිවලින් පැහැදිලියි. ඇත්ත, මේ කාලෙදී දෙවියන් මිනිසුන් කරන හැම දේකටම මැදිහත් වෙන්නේ නැහැ. මොකද කැමති විදිහට ජීවත් වෙන්න දෙවියන් මිනිසුන්ට නිදහස දීලා තියෙනවා. ඒත් මිනිසුන් ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි කරනවා. ඒකේ ප්‍රතිඵලයි අද අපි අද්දකින්නේ. (ගලාති 6:7) ඒත් එහෙම කියලා මිනිස්සු මේ ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන කල් මුළු විශ්වයටම අධිපති දෙවියන් බලාගෙන ඉන්නේ නැහැ. පොළොව සදහටම පවතිනවා කියලා දුන්න පොරොන්දුව දෙවි අනිවාර්යයෙන්ම ඉටු කරනවා. ඒකට හරස් වෙන්න මිනිසුන්ට ඉඩ දෙන්නේ නැහැ.—ගීතාවලිය 83:18; හෙබ්‍රෙව් 4:13.

පොළොව විනාශ වෙන්න දෙන්නේ නැහැ විතරක් නෙමෙයි ප්‍රශ්න ගැටලුවලින් තොර ‘සාමය දසත පැතිරුණ’ කාලයක් ගේනවා කියලත් දෙවියන් පොරොන්දු වෙනවා. (ගීතාවලිය 37:11) අපි මේ ලිපියේ කතා කළේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දීප්තිමත් අනාගතයක් ගැන බයිබලයෙන් දැනගෙන තියෙන තොරතුරුවලින් බිඳක් විතරයි.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අතර විවිධ ජාතිවලට, වයස්වලට අයිති ස්ත්‍රීන්, පුරුෂයන් ඉන්නවා. ලෝකේ කොහේ හිටියත් එයාලා එක පවුලක්. එයාලා නමස්කාර කරන්නේ එකම සැබෑ දෙවියන්ට. සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලේ සඳහන් වෙනවා. ඔහු මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “අහස නිර්මාණය කළ යෙහෝවා දෙවි, සැබෑ දෙවිය. ඔහු පොළොවද නිර්මාණය කර එය ස්ථිර ලෙස පිහිටෙව්වේය. ඔහු පොළොව සෑදුවේ හිස්, පාළු ස්ථානයක් වීමට නොව, මිනිසුන්ගේ වාසය සඳහාය. ඔහු ඔබට මෙසේ පවසයි. ‘මා යෙහෝවා දෙවිය. මට සමාන කිසිවෙක් නැත.’” (යෙසායා 45:18) ඒ පොරොන්දුව නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අනාගතය ගැන කිසිම බයක් නැහැ.

මේ ලිපියෙන් සාකච්ඡා කළේ පොළොවේ සහ මිනිසුන්ගේ අනාගතය ගැන බයිබලයේ සඳහන් වෙලා තියෙන පොරොන්දුවලින් කීපයක්. වැඩි විස්තර දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ සඟරාවේ පස්වෙනි පාඩම බලන්න. සඟරාවක් ලබාගන්න www.mr1310.com/si වෙත පිවිසෙන්න.

www.mr1310.com/si වෙබ් අඩවියේ තියෙන ‘දෙවියන් පොළොව නිර්මාණය කළේ ඇයි?’ කියන වීඩියෝ එකත් බලන්න. (ප්‍රකාශන > වීඩියෝ යටතේ බලන්න)