Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

ආදරය පෙන්වීම

ආදරය පෙන්වීම

නැතුවම බැරි දෙයක්! විවාහක යුවළක් අතර, යාළුවන් අතර, පවුලේ සාමාජිකයන් අතර ශක්තිමත් බැඳීමක් පවත්වාගන්න ආදරය නැතුවම බැහැ. ඒ වගේම ආදරය තියෙන තැන නියම සතුටත් තියෙනවා. ඇත්තටම “ආදරය” කියන්නේ මොකක්ද?

ආදරය කියද්දී සාමාන්‍යයෙන් අපේ මනසට එන්නේ ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර ඇති වෙන ආදරයයි. ඒත් මේ ලිපියේ කතා කරන්නේ ඊට වඩා විශේෂ විදිහේ ආදරයක් ගැනයි. ඒ තමයි දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට එකඟව පෙන්නන ආදරය. ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක්ට අනිත් අය ගැන ලොකු හැඟීමක් තියෙනවා. එහෙම කෙනෙක් තමන්ගේ වාසිය නොබලා අනිත් අය වෙනුවෙන් ඇපකැප වෙනවා.

ඒ වගේ ආදරයක් පෙන්නන කෙනෙක්ව මෙහෙමත් විස්තර කරලා තියෙනවා. ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය. ඔහු තුළ ඊර්ෂ්‍යාවක් නැත. තමා ගැන පුරසාරම් දොඩන්නේ නැත. අහංකාරයෙන් ක්‍රියා කරන්නේද නැත. අවිනීතව හැසිරෙන්නේ නැත. තමාගේම වාසිය සොයන්නේ නැත. ඉක්මනින් කෝප වන්නේ නැත. අමනාපයක් සිතේ තබාගන්නේ නැත. අධර්මිෂ්ඨ දේවල් ගැන ප්‍රීති වන්නේ නැත. ඒ වෙනුවට සත්‍යය ජය ගන්නා විට ඔහු ඒ ගැන ප්‍රීති වෙයි. සියල්ල ඉවසා දරාගනියි. සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි. සියල්ල විඳදරාගනියි. ප්‍රේමය සදාතනිකය.’—1 කොරින්ති 13:4-8.

සැබෑ ආදරය දවසින් දවස වැඩි වෙනවා මිසක් කවදාවත් නැති වෙන්නේ නැහැ. ආදරය පෙන්නන කෙනෙක් ඉවසිලිවන්තයි. කරුණාවන්තයි. අනිත් අයට සමාව දෙනවා. අනිත් අයගේ අඩුපාඩුකම් දරාගන්නවා. ඒ නිසයි ආදරය “එක්සත්කමට දායක” වෙන ලස්සන ගුණාංගයක් විදිහට බයිබලයේ හඳුන්වන්නේ. (කොලොස්සි 3:14) ආදරය සතුටින් පිරුණු ශක්තිමත් බැඳීම් ඇති කරගන්න උදව් වෙනවා. උදාහරණෙකට විවාහ බැඳීම ගැන බලමු.

“එක්සත්කමට දායක වෙන” ආදරය

සාර්ථක විවාහයකට අවශ්‍ය මඟ පෙන්වීම් ගැන යේසුස් කතා කළා. ඔහු මෙහෙම කිව්වා. ‘ඒ නිසා මිනිසෙක් තම පියාගෙන්ද මවගෙන්ද වෙන් වී තම බිරිඳට ඇලුම් වෙනවා. එතැන් පටන් ඔවුන් දෙදෙනෙකු නොව එක් කෙනෙකු මෙන් වෙනවා. දෙවි ඔවුන්ව එලෙස එක් කළ නිසා කිසි මිනිසෙක් ඔවුන්ව වෙන් නොකළ යුතුයි.’ (මතෙව් 19:5, 6) ඒකෙන් අපිට ඉගෙනගන්න පුළුවන් කාරණා දෙකක් ගැන බලමු.

‘ඔවුන් එක් කෙනෙකු මෙන් වෙනවා.’ විවාහය කියන්නේ දෙන්නෙක් අතර ඇති වෙන සමීපතම බැඳීමයි. ඒත් කෙනෙක් තමන්ගේ බිරිඳට හරි සැමියාට හරි ද්‍රෝහි වුණොත් ඒ බැඳීම කැඩිලා යන්න පුළුවන්. (1 කොරින්ති 6:16; හෙබ්‍රෙව් 13:4) දරුවෝ ඉන්නවා නම් ඒක එයාලටත් නරක විදිහට බලපානවා. තමන් තනි වෙලා, අසරණ වෙලා කියලා දරුවන්ට හිතෙයි. දරුවාගේ හිතේ ලොකු කේන්තියක් තියෙන්නත් පුළුවන්. එකිනෙකාට ද්‍රෝහි නොවී ඉන්න සැමියාට සහ බිරිඳට උදව් වෙන්නේ සැබෑ ආදරයයි.

දෙවියන් ‘ඔවුන්ව එලෙස එක් කළා.’ විවාහය කියන්නේ පවිත්‍ර බැඳීමක්. ඒක තේරුම්ගන්න යුවළක් ඒ බැඳීම ශක්තිමත් කරගන්න පුළුවන් හැමදේම කරනවා. ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී ඒවා හේතුවක් කරගෙන එකිනෙකාගෙන් වෙන් වෙන්න එයාලා උත්සාහ කරන්නේ නැහැ. ප්‍රශ්න ‘දරාගෙන’ එකට එකතු වෙලා ඒවා විසඳගන්න උත්සාහ කරනවා. මොකද එයාලට ඕනෙ විවාහ බැඳීම රැකගන්නයි.

ඒ වගේ බැඳීමක් තියෙන දෙන්නෙක් එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන් සලකනවා. ඒක දරුවන්ටත් ආශීර්වාදයක්! ජෙසිකා කියන දේ බලන්න. “අම්මායි, තාත්තායි දෙන්නාට දෙන්නා හරි ආදරෙයි. අම්මා, තාත්තා ගැන සැලකිලිමත් වුණ විදිහ දකිද්දී මටත් හිතුණා මං කවදා හරි අම්මා වගේ වෙන්න ඕනෙ කියලා.”

ප්‍රේමය තමයි දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය. බයිබලයේ ඔහුව හඳුන්වලා තියෙන්නේ “ප්‍රේමයේ උල්පත” කියලා. ඒ වගේම බයිබලයේ ඔහුව “ප්‍රීතිමත් දෙවි” කියලත් හඳුන්වනවා. (1 යොහන් 4:8, පාද සටහන; 1 තිමෝති 1:11) ආදරය තියෙන තැන සතුට තියෙනවා කියන දේ ඒකෙනුත් පැහැදිලියි. බයිබලයේ අපිට උනන්දු කරන්නේ “දෙවිව අනුකරණය කරන්නන් වන්න” කියලයි. (එෆීස 5:1, 2) එහෙම කරනවා නම් සැබෑ සතුට අද්දකින්න අපිටත් පුළුවන්.