Skip to content

පටුනට යන්න

සැබෑ සතුටට මඟ

සමාව දීම

සමාව දීම

“මං පොඩි කාලේ ඉඳන්ම දැක්කේ අම්මායි තාත්තායි රණ්ඩු වෙන විදිහ. ඒ දේවල් මගේ මනසට කොච්චර බලපෑවාද කියනවා නම් වැඩිහිටියෙක් වුණාට පස්සෙත් අනිත් අයත් එක්ක හොඳින් ඉන්න මට බැරි වුණා. මට හැම තිස්සෙම කේන්ති ගියා. කාටවත් සමාව දුන්නේ නැහැ. ඒ නිසා මට හරියට නින්ද ගියෙත් නැහැ.” එහෙම කිව්වේ පැට්‍රීෂියා කියලා කාන්තාවක්. අමනාපය හිතේ තියාගන්න එක සතුටින් ඉන්න බාධාවක්. ඒක අපේ සෞඛ්‍යයටත් බලපාන්න පුළුවන්. සමාව දෙන්නේ නැති කෙනෙක් මේ වගේ දේවලට මුහුණ දෙන්න පුළුවන් කියලා අධ්‍යයනවලිනුත් හොයාගෙන තියෙනවා.

  • හොඳ බැඳීම් ඇති කරගන්න බැරි නිසා තනි වෙනවා

  • අමනාපය, කනස්සල්ල, මානසික පීඩනය ඇති වෙනවා

  • හැම තිස්සෙම අනිත් අයගේ වැරදි විතරක්ම පේන නිසා සතුටින් ඉන්නත් බැහැ

  • සමාව දෙන එක තමයි හොඳම දේ කියලා දැනගෙන හිටියත් එහෙම නොකරන නිසා හිත වධ දෙනවා

  • මානසික පීඩනය, අධි රුධිර පීඩනය සහ හදවත් රෝගවලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ආතරයිටිස්, හිසරදය වගේ රෝග වැඩි වෙන්නත් ඒක හේතු වෙන්න පුළුවන් *

සමාව දෙනවා කියන්නේ මොකක්ද? සමාව දෙනවා කියන්නේ වරදක් සම්පූර්ණයෙන්ම අමතක කරන එකට. සමාව දෙන කෙනෙක්ගේ හිතේ අමනාපයක්වත් පළිගැනීමේ චේතනාවක්වත් නැහැ. ඒක කරන්නම් වාලේ කරන දෙයක් නෙමෙයි. අනිත් කෙනා එක්ක සාමය ඇති කරගන්න තියෙන ආසාව නිසා කැමැත්තෙන්ම කරන දෙයක්. ඒත් සමාව දෙනවා කියන්නේ වරදක් සැහැල්ලුවට ගන්න එකවත් ඒක ගණන් නොගෙන ඉන්න එකවත් නෙමෙයි.

සමාව දෙන කෙනෙක් අනිත් අයව හොඳින් තේරුම්ගන්නවා. එයා දන්නවා ඕනෙම කෙනෙක් අතින් වැරදි වෙන්න පුළුවන් කියලා. (රෝම 3:23) ඒ නිසයි බයිබලයෙත් අපිට උනන්දු කරන්නේ “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න” කියලා.—කොලොස්සි 3:13.

සමාව දෙන එක අනිත් අයට ආදරය පෙන්නන්න පුළුවන් එක විදිහක්. සමාව දෙද්දී අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් වෙනවා. මොකද අපි කලින් බලපු විදිහට ආදරය එක්සත්කමට දායක වෙන හොඳම බැඳීමයි. (කොලොස්සි 3:14) එක වෙබ් අඩවියක (Mayo Clinic) පෙන්නන විදිහට, සමාව දීමෙන් . . .

  • ශක්තිමත් බැඳීම් ඇති කරගන්න, අනිත් අයව තේරුම්ගන්න වගේම අනිත් අයට අනුකම්පාවෙන් සලකන්න පුළුවන් වෙනවා

  • හරි දේ කරනවා කියලා දන්න නිසා හිතට නිදහසක් දැනෙනවා

  • කනස්සල්ල, මානසික පීඩනය සහ අනිත් අයව නුරුස්සන ගතිය අඩු වෙනවා

  • මානසික අවපීඩනයට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ අඩුයි

ඔයා අතින් වුණ වරදක් ගැන හිත හිත ළත වෙන්න එපා. අපේ අතින් වරදක් වුණාම ඒක අමතක කරලා දාන එක ලේසි දෙයක් නෙමෙයි. ඒත් “අපි අතින් වුණ වරදක් ගැන හිත හිත ළත වෙන එක අපේ ශාරීරික සහ මානසික සෞඛ්‍යයට අහිතකර විදිහට බලපාන්න පුළුවන්” කියලා එක සඟරාවක කියනවා. (Disability & Rehabilitation) වරද ගැන හිත හිත ඉන්නවා වෙනුවට ඒක අමතක කරන්න උදව් වෙන්නේ මොනවාද?

  • අපි හැමෝම අතින් වැරදි වෙනවා කියන එක මතක තියාගන්න.—දේශනාකාරයා 7:20

  • වෙච්ච වැරැද්දෙන් පාඩමක් ඉගෙනගන්න. ආයෙත් ඒ වරද නොකර ඉන්න ඒක ඔයාට උදව් වෙයි

  • දවසින් දෙකෙන් අපේ දුර්වල පැති හදාගන්න බැහැ කියන දේ තේරුම්ගන්න.—එෆීස 4:23, 24

  • ඔයාගේ හොඳ පැති වගේම දුර්වල පැති පෙන්නලා දෙන යාළුවන්ව ආශ්‍රය කරන්න.—හිතෝපදේශ 13:20

  • ඔයාගේ අතින් තව කෙනෙක්ට වරදක් වුණාම ඉක්මනින්ම ගිහින් එයාගෙන් සමාව ඉල්ලන්න. ඒකෙන් ඔයාට ලොකු සහනයක් දැනෙයි.—මතෙව් 5:23, 24

ජීවිත වෙනස් කරන මඟ පෙන්වීම්

මුලින් සඳහන් කරපු පැට්‍රීෂියා බයිබලය ඉගෙනගත්තාට පස්සේ අනිත් අයට සමාව දෙන්න පුරුදු වුණා. එයා මෙහෙම කියනවා. “කේන්තිය හිතෙන් අයින් කරලා අනිත් අයට ආදරෙන් සලකන්න මං ඉගෙනගත්තා. බයිබලයේ තියෙන වටිනා මඟ පෙන්වීම් දීලා තියෙන එකෙන් දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියලා තේරෙනවා.”

රොන් කියන කෙනා මෙහෙම කියනවා. “අනිත් අය කරන කියන දේවල් නවත්තන්න අපිට බැහැ. ඒත් අපිට පුළුවන් ඒවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න. සමාදානය ඇති කරගන්න නම් අමනාපය හිතෙන් අයින් කරලාම දාන්න ඕනෙ කියලා මම තේරුම්ගත්තා.”

^ 8 ඡේ. Mayo Clinic and Johns Hopkins Medicine websites and the journal Social Psychiatry and Psychiatric Epidemiology.