Skip to content

පටුනට යන්න

ස්වාමිපුරුෂයෙනි ඔබේ නිවස බිරිඳට සොඳුරු නවාතැනක්ද?

ස්වාමිපුරුෂයෙනි ඔබේ නිවස බිරිඳට සොඳුරු නවාතැනක්ද?

සැමියෙකුගෙන් බිරිඳකට ලැබෙන්න ඕන මොන වගේ සැලකිල්ලක්ද? සල්ලි හම්බ කරන එක තමයි ස්වාමිපුරුෂයන්ගේ ප්‍රධාන වගකීම කියලා හුඟක් අය හිතනවා. ඒත් කොච්චර සැප සම්පත් තිබුණත් හිතේ සැනසීමක් නැතුව, මර බයෙන් ජීවත් වන භාර්යාවන් ලෝකේ ඕන තරම් ඉන්නවා. ස්පාඤ්ඤයේ ජීවත් වෙන රෝසා ඇගේ සැමියා ගැන මෙහෙම කිව්වා. “පිට අයට නම් එයා හරි හොඳයි, ඒත් ගෙදරදි නම් හරිම නපුරුයි.” නයිජීරියාවේ ඉන්න ජෝයි එයාගේ සැමියා ගැන දුකෙන් කිව්වේ මෙහෙමයි. “මම එයාත් එක්ක මොකකට හරි එකඟ වුණේ නැත්නම් එයා මට කිව්වේ ‘මමයි ස්වාමිපුරුෂයා, ඔයා වැඩ කරන්න ඕනෙ මං කියන විදිහට’ කියලයි.”

ආදරණීය සැමියෙක් කොහොමද ඔහුගේ වගකීම් හොඳින් ඉටු කරන්නේ? බිරිඳට ‘සතුටින් යුග දිවිය’ ගෙවන්න පුළුවන් සොඳුරු නිවහනක් ඇති කරන්න සැමියෙක්ට පුළුවන් කොහොමද?—රූත් 1:9.

සැමියෙක් මූලිකත්වය දරන්න ඕන විදිහ

සැමියාටත් බිරිඳටත් දෙවියන් එකම විදිහට සැලකුවත් ඒ දෙන්නාට පවුල තුළ විවිධ වගකීම් දීලා තියෙනවා. බයිබලයේ රෝම 7:2 කියන්නේ ස්ත්‍රියක් විවාහ වුණාට පස්සේ ‘ඇගේ ස්වාමිපුරුෂයාගේ නීතිවලට’ බැඳිලා ඉන්නවා කියලයි. ඕනම ආයතනයක කටයුතු බලා කියා ගන්න මූලිකයෙක් ඉන්නවා වගේ බිරිඳව බලාගන්න පවුලේ මූලිකයා විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ සැමියාවයි. (1 කොරින්ති 11:3) සැමියන් ඒ වගකීම හොඳින් ඉටු කරන්න ඕනේ.

ස්වාමිපුරුෂයෙනි, දෙවියන්ගෙන් ලැබුණ වගකීම ඔබ ඉටු කරන්නේ කොහොමද? බයිබලයේ එෆීස 5:25 කියන්නේ ‘ඔබේ භාර්යාවන්ට දිගටම ප්‍රේම කරන්න. ක්‍රිස්තුස් සභාවට ප්‍රේම කළ අයුරින්ම ඔබත් ඔවුන්ට ප්‍රේම කරන්න’ කියලයි. යේසුස් විවාහ වුණේ නැතත් හොඳ සැමියෙක් වෙන්න ඔහුගේ ආදර්ශය ඔබට උදව් වෙන විදිහ බලමු.

ස්වාමිපුරුෂයනි යේසුස්ව ආදර්ශයට ගන්න

යේසුස් බරින් පීඩිත අයට සහනයක් වෙලා ඔවුන්ව ප්‍රාණවත් කළා. ජීවිතේ ප්‍රශ්නවලින් මිරිකිලා හිටපු අයට යේසුස් කිව්වේ ‘මා වෙතට එන්න. ඔබව ප්‍රාණවත් කරන්න මා කැමතියි’ කියලයි. (මතෙව් 11:28, 29) හුඟක් වෙලාවට ඔහු ඒ අයගේ ලෙඩ සුව කළා වගේම එයාලට දෙවියන් ගැනත් කියලා දුන්නා. ඒකෙන් එයාලගේ ගතට වගේම හිතටත් සහනයක් ලැබුණා. එහෙමනම් සහනයක් හොයාගෙන මිනිස්සු යේසුස් ළඟට ආපු එක පුදුමයක්ද!

ස්වාමිපුරුෂයන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් විදිහ. බිරිඳගේ දවසේ වැඩ කොටස සැහැල්ලු කරන්න ඔබට කරන්න පුළුවන්  දේවල් ගැන ටිකක් හොයලා බලන්න. රෝසා මෙහෙමත් කිව්වා. “එයා මට සැලකුවේ වැඩකාරියෙක් විදිහට.” සමහර භාර්යාවන්ට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. ඒත් ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන කුවෙකු, ඔහු කරන දේ ගැන කිව්වේ මෙහෙමයි. “මම බිරිඳට ගොඩක් ආදරෙයි. ඒ හින්දා එයා උදව්වක් ඉල්ලනකම් ඉන්නේ නැතුව ගෙදර දොරේ වැඩ පළ කරන්න මං එයාට උදව් වෙනවා.”

යේසුස් අනිත් අයගේ හැඟීම් තේරුම්ගත්තා. අවුරුදු 12ක්ම බරපතළ අසනීපයකින් දුක් වින්ද දුප්පත් ස්ත්‍රියක් හිටියා. තමන්ව සුව කරන්න යේසුස්ට පුළුවන් කියලා විශ්වාස කරපු ඇය “ඔහුගේ වස්ත්‍රය ඇල්ලුවත් ඇති. ඒකෙන් මාව සුව වෙයි” කියලා නිතරම හිතුවා. ඇය හිතුවා හරි! ඇය යේසුස්ගේ වස්ත්‍රය ඇල්ලුව මොහොතේම ඇය සුව වුණා. ඇය කරපු දේ දැක්ක අය වැරදි විදිහට හිතන්න ඇති. * ඒත් ඇය එහෙම කෙරුවේ අසරණකම නිසා කියලා තේරුම්ගත්ත යේසුස් කරුණාවෙන් ඇයට මෙහෙම කිව්වා. ‘දුවේ, ඔබේ බරපතළ රෝගය දැන් සුව වෙලා.’—මාක් 5:25-34.

 ස්වාමිපුරුෂයන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් විදිහ. ඔබේ බිරිඳ අසනීපෙන් ඉන්න දවස්වලට එයාට වැඩි සැලකිල්ලක් පෙන්වන්න. වැඩිපුර ඉවසන්න. එයාගේ තත්වය තේරුම්ගන්න. එයා යම් දේවල් කියන්න හෝ කරන්න හේතුව තේරුම්ගන්න. රිකාඩෝ ඒ ගැන විස්තර කෙරුවේ මෙහෙමයි. “පොඩ්ඩ බැරි වෙද්දී මගේ බිරිඳගේ හිත රිදෙනවා කියලා මට තේරෙන දවස්වලදී එයාගේ හිත රිද්දන දේවල් නොකියන්න මම පරෙස්සම් වෙනවා.”

යේසුස් නිතරම ගෝලයන් එක්ක කතාබහ කෙරුවා. යේසුස් ඔහුගේ මිතුරන් එක්ක අදහස් බෙදාගත්තා. ‘මගේ පියාණන් මට කියා දුන් සෑම දෙයක්ම මම ඔබට කියා දුන්නා’ කියලා කිව්වේ ඒ නිසයි. (යොහන් 15:15) සමහර අවස්ථාවලදී යේසුස්ට තනියම කාලය ගත කරන්නත් යාච්ඤා කරන්නත් ඕන වුණා. ඒත් ඔහු නිතරම ඔහුට හැඟෙන විදිහ ගෝලයන් එක්ක කතා කළා. යේසුස් මැරෙන්න කලින් දවසේ රෑ අපරාධකාරයෙක් විදිහට මරණයට පත් කරන එක ගැන ඔහුගේ හිතට දැනුණ වේදනාව හංගන්නේ නැතුව ගෝලයන්ට කිව්වා. (මතෙව් 26:38) ගෝලයන් කරපු දේවල් ගැන යේසුස්ට යම් කලකිරීමක් ඇති වුණත් ඒ අයත් එක්ක කතා කරන එක නතර කෙරුවේ නැහැ.—මතෙව් 26:40, 41.

හොඳ සැමියෙක් හා පියෙක් වෙන්න යේසුස්ගේ ආදර්ශය ඔබට උදව් වෙයි

ස්වාමිපුරුෂයන්ට යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් විදිහ. ස්වාමිපුරුෂයෙනි, ඔබේ භාර්යාව එක්ක අදහස් හුවමාරු කරගන්න ඕන හදවතින්මයි. හුඟක් භාර්යාවන් කියන්නේ තමන්ගේ සැමියන් පිට අය එක්ක හොඳට කතාබහ කෙරුවට ගෙදරදී කටක් අරින්නේ නැහැ කියලයි. ඒත් සැමියා ඔහුගේ හිතේ තියෙන දේවල් ගැන කියද්දී ඇයට හැඟෙන විදිහ ගැන ආනා මෙහෙම කිව්වා. “එයා මට ආදරෙයි කියලා මට දැනෙනවා. ඒ වගේම එයාගේ හොඳම යාළුවා මමයි කියන හැඟීමත් ඇති වෙනවා.”

කේන්ති ගියාම බිරිඳට රිද්දන්න කියලා කතා නොකර ඉන්න එපා. එක කාන්තාවක් මෙහෙම කියනවා. “මගේ මහත්තයාට කේන්ති ගියාම වැරදිකාරි මම, මගෙන් කිසි වැඩක් නැහැ කියලා මට දැනෙන්න දවස් ගණන් එයා මා එක්ක කතා නොකර ඉන්නවා.” යේසුස්ව ආදර්ශයට ගන්න ලොකු උත්සාහයක් දරන එඩ්වින් මෙහෙම කියනවා. “මට කේන්ති ගියාම මම නිහඬ වෙනවා. ඊටපස්සේ සුදුසු වෙලාව ආවාම දෙන්නා කතා කරලා ප්‍රශ්නේ ඉක්මනටම විසඳගන්නවා.”

කලින් අදහස් දීපු ජෝයිගේ මහත්තයා සාක්ෂිකරුවන් එක්ක බයිබලය සාකච්ඡා කරන්න පටන්ගත්තාට පස්සේ වෙනස් වුණා. ඇය මෙහෙම කිව්වා. “එයා දැන් හුඟක් හොඳයි. යේසුස්ව ආදර්ශයට අරගෙන හොඳ සැමියෙක් වෙන්න එයා ගොඩක් මහන්සි වෙනවා.” බයිබලේ තියෙන උපදෙස්වලින් මිලියන ගණන් යුවළයන් ප්‍රයෝජන අරන් තියෙනවා. ඔබත් එයින් ප්‍රයෝජන ගන්න කැමතිද? එහෙමනම් ඔබ එක්ක බයිබලය සාකච්ඡා කරන්න එන්න කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුට ආරාධනා කරන්න.

^ 10 ඡේ. ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දුන්න නීතියට අනුව ඇය හිටියේ අපවිත්‍ර තත්වයකයි. ඒ නිසා ඇය අල්ලන ඕනම කෙනෙක්ව අපවිත්‍ර වෙනවා කියලා සැලකුවා.—ලෙවී කතාව 15:19, 25.