Skip to content

දෙමව්පියන් මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ ඇයි?

දෙමව්පියන් මට ටිකක් විනෝද වෙන්න දෙන්නේ නැත්තේ ඇයි?

මේ වගේ තත්වයකට මුහුණ දෙන්න වුණොත්:

ඔයාට පාටියකට යන්න ඕනේ. ඒත් දෙමව්පියන් යන්න දෙයිද කියලා ඔයාට ෂුවර් නැහැ. ඔයා මොනවද කරන්නේ?

  1.  නොකියා යනවා

  2.  යන්නේ නැහැ

  3.  අහලා බලනවා

 1. නොකියා යනවා

 ඔයා එහෙම කරන්නේ: දෙමව්පියන්ගේ අවසරය නැතුව වුණත් ඔයාට ඕනෙම දෙයක් කරන්න පුළුවන් කියලා යාළුවන්ට පෙන්නන්න ඕනේ නිසා. ඒ වගේම දෙමව්පියන්ට වඩා ඔයාට යම් කාරණා ගැන දැනුම තියෙනවා කියලා හරි එහෙම නැත්නම් එයාලගේ තීරණ ඔයාට වැදගත් නැහැ කියලා හරි ඔයා හිතන නිසයි.—හිතෝපදේශ 14:18.

 ප්‍රතිඵල: එහෙම කරද්දී යාළුවන්ගේ හිත දිනාගන්න පුළුවන් වෙයි. ඒත් ඔයා දෙමව්පියන්ට විශ්වාසවන්ත නැත්නම් කවදා හරි දවසක යාළුවන්ගේ විශ්වාසයත් බිඳියි කියලා ඒගොල්ලෝ හිතයි. ඒ වගේම ඔයා කරපු දේ දෙමව්පියන් දැනගත්තොත් ඔයා ගැන ඒගොල්ලන්ට තියෙන විශ්වාසයත් නැති වෙයි, හිතත් රිදෙයි. සමහරවිට ඔයාට දඬුවම් කරයි.—හිතෝපදේශ 12:15.

 2. යන්නේ නැහැ

 ඔයා එහෙම කරන්නේ: යාළුවන් කරන්න යන දේ එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා හරි ඒකට සහභාගි වෙන අය හොඳ අය නෙවෙයි කියලා හරි ඔයාට හිතෙන නිසයි. (1 කොරින්ති 15:33; ෆිලිප්පි 4:8) එහෙම නැත්නම් ඔයා යන්න ආසයි, ඒත් දෙමව්පියන්ගෙන් අහන්න භයයි.

 ප්‍රතිඵල: ඔයා නොයන්න තීරණය කළේ යාළුවන් කරන්න යන දේ එතරම් හොඳ නැහැ කියලා ඔයා දන්න නිසා නම් ඔයාගේ තීරණය ගැන යාළුවන්ට කියන්න භය වෙන්නේ නැහැ. ඒත් ඔයා නොයන්නේ ඒ ගැන දෙමව්පියන්ගෙන් අහන්න තියෙන භය නිසා නම්, විනෝද වෙන්න අවස්ථාවක් නැත්තේ ඔයාට විතරයි කියලා හිතලා දුක් වෙයි.

 3. අහලා බලනවා

 ඔයා එහෙම කරන්නේ: තීරණ ගන්න දෙමව්පියන්ට අයිතියක් තියෙනවා කියලත් ඔයා දෙමව්පියන්ට කීකරු වෙන්න ඕනේ කියලත් ඔයා පිළිගන්න නිසයි. (කොලොස්සි 3:20) ඔයා දෙමව්පියන්ට ආදරේ නිසා ඒගොල්ලන්ට නොකියා දේවල් කරලා හිත රිද්දන්න ඔයා කැමති නැහැ. (හිතෝපදේශ 10:1) ඒ වගේම ඔයා යන්න ආස ඇයි කියලා දෙමව්පියන්ට පැහැදිලි කරලා දෙන්නත් ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

 ප්‍රතිඵල: ඔයා දෙමව්පියන්ට දක්වන ගෞරවය හා ආදරය ඒ අය හුඟක් අගය කරයි. ඔයාගේ ඉල්ලීම සාධාරණයි කියලා ඒගොල්ලන්ට හිතුණොත් ඒ පාටියට යන්න අවසර දෙයි.

දෙමව්පියන් අවසර නොදෙන්නේ ඇයි?

ජීවිතාරක්ෂක භටයන් වගේ ඔයාගේ දෙමව්පියනුත් ඔයා නොදකින අනතුරු දකිනවා

 එක හේතුවක්: ඒක මේ වගේ උදාහරණයකින් පැහැදිලි කරන්න පුළුවන්. මුහුදු වෙරළක ජීවිතාරක්ෂක භටයන් ඉන්නවා නම් මුහුදේ නාන්න ඔයා භය වෙන්නේ නැහැ. මොකද විනෝද වෙමින් ඉන්නකොට ඔයාට අනතුරු ගැන අවධානයක් දෙන්න බැරි වුණත් ජීවිතාරක්ෂක භටයන් හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නවා කියලා ඔයා දන්නවා. ඒ වගේම ඔයාගේ දෙමව්පියන්ට ජීවිතයේ හුඟක් අද්දැකීම් හා දැනුම තියෙන නිසා ඔයාට නොපෙනෙන අනතුරු ඉක්මනින්ම හඳුනාගන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒ නිසා සමහර වෙලාවලදී ඔයාගේ ඉල්ලීම දෙමව්පියන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම කරන්නේ ඔයාව අනතුරුවලින් ආරක්ෂා කරගන්න මිසක් ඔයාගේ සතුට නැති කරන්න නෙවෙයි.

 තවත් හේතුවක්: ඔයාට තියෙන ආදරේ නිසයි. ඕනෙම අම්මා කෙනෙක්ගේ සහ තාත්තා කෙනෙක්ගේ ආසාව තමන්ගේ දරුවන්ව ආරක්ෂා කරගැනීමයි. ඒ අය ඔයාට ආදරය කරන නිසා සමහර දේවල්වලට අවසර දෙයි. ඒත් අනතුරක් තියෙනවා කියලා පෙනුණොත් එපා කියයි. එහෙම කරන්නේ ඔයාට මොනවා හරි වුණොත් ඔයාටත් එයාලටත් දුක් විඳින්න වෙන බව දෙමව්පියන් දන්නා නිසයි.

අවසර ලබාගන්න ඔයාට කරන්න පුළුවන් දේ

 අවංක වෙන්න: ඔයා මේ ප්‍රශ්න ගැන ටිකක් හිතන්න. ‘මට මේ ගමන යන්න ඕනේ ඇයි? මට විනෝද වෙන්න ඕනේ නිසාද? නොගියොත් යාළුවෝ විහිළු කරන නිසාද? එහෙම නැත්නම් මම කැමති කෙල්ල හරි කොල්ලා එන නිසාද?’ ඔයාගේ දෙමව්පියනුත් ඔයාගේ වයසේ හිටපු නිසා ඔයාගේ හැඟීම් ඒ අයට තේරුම්ගන්න පුළුවන්. ඒ නිසා අවංකව හැම දෙයක්ම කියන්න. ඒක දෙමව්පියෝ අගය කරයි. ඒ අය ඔයාට මඟ පෙන්වීම් දෙන්නේ ඔයාගේම ප්‍රයෝජනයට කියන එක අමතක කරන්න එපා. (හිතෝපදේශ 7:1, 2) අනික් අතට දෙමව්පියන්ට බොරු කියලා අහු වුණොත් ඔයාට ඊළඟ වතාවලදී යන්න ලැබෙන අවස්ථා අඩු වෙන්න පුළුවන්.

 සුදුසු වෙලාවක් තෝරාගන්න: දෙමව්පියන් මහන්සියෙන් ඉන්න වෙලාවක හරි වැඩ ඇරිලා ගෙදර ආපු ගමන්ම හරි ඒ වගේ දේවල් ගැන කතා කරන්න එපා. ඒ අය විවේකව ඉන්න වෙලාවක ඒ ගැන කතා කරන්න. ඒත් අන්තිම මොහොතේ ගිහින් අහන්න එපා. කල් ඇතුව ඒ ගැන කතා කළොත් දෙමව්පියන්ට ඒ ගැන හිතන්න කාලය තියෙනවා වගේම ඔයා දෙමව්පියන් ගැන දක්වන සැලකිල්ලත් ඒ අය අගය කරයි.

 පැහැදිලිව කියන්න: දෙමව්පියන් අහන හැම ප්‍රශ්නයකටම පැහැදිලි උත්තරයක් දෙන්න. උදාහරණයකට “ඔයත් එක්ක යන්නේ කවුද,” “වැඩිහිටියෙක් ඉන්නවද,” “ඉවර වෙන්නේ කීයටද” වගේ ප්‍රශ්නවලට ඔයා “දන්නේ නැහැ” කිව්වොත් ඔයාට අවසර නොලැබීමට තියෙන ඉඩකඩ වැඩියි.

 හොඳ ආකල්පයක් තියාගන්න: ඔයාගේ දෙමව්පියන් සතුරන් නෙවෙයි මිතුරන් කියලා හිතන්න. යම් අවස්ථාවක දෙමව්පියන් ඔයාගේ ඉල්ලීමකට අවසර නොදුන්නොත් ඒ ගැන තරහ වෙන්නේ නැතුව ඒ අයව තේරුම්ගන්න උත්සාහ කරන්න.

 දෙමව්පියන්ගේ තීරණවලට ගරු කිරීමෙන් ඔයා දැනුම් තේරුම් ඇති කෙනෙක් කියලා පෙන්නන්න. එහෙම කළොත් ඒ අයට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙයි. ඒ වගේම ඊළඟ වතාවේදී ඔයාගේ ඉල්ලීම ගැන ටිකක් හිතලා බලන්නත් ඉඩ තියෙනවා.