Skip to content

යොවුන් සිතේ ගැටලු

එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන එක හොඳ දෙයක්ද?

එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන එක හොඳ දෙයක්ද?

 වැඩ දෙක තුනක් එකම වෙලාවේ කරන්න ඔයාට හැකියාව තියෙනවාද?

 වැඩිහිටි වයසට ආවට පස්සේ තාක්ෂණය පාවිච්චි කරන්න ගත්ත අයට වඩා තාක්ෂණයත් එක්කම ඇතිදැඩි වුණ අයට එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න පුළුවන් කියලා හුඟදෙනෙක් හිතනවා. ඒත් ඒක ඇත්තද?

 හරිද වැරදිද?

  •   එකම වෙලාවේ ඔයා වැඩ කීපයක් කරද්දී කාලේ ඉතුරු කරගන්න පුළුවන්.

  •   එකම වෙලාවේ ඔයා වැඩ කීපයක් නිතරම කළොත් කාලයක් යද්දී ඔයාට ඒක තව හොඳින් කරන්න පුළුවන්.

  •   වැඩිහිටි අයට වඩා යෞවන අයට එකම වෙලාවේ වැඩ කීපයක් කරන්න පුළුවන්.

 ඒ එකකට හරි ඔයා ‘හරි’ කියලා කිව්වා නම් එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න පුළුවන් කියලා කියන වැරදි අදහසට ඔයා අහු වෙලා.

 එක පාර වැඩ දෙක තුනක් කරන එක ගැන තියෙන වැරදි මත

 ඔයාට එකම සැරේ වැඩ දෙකක් කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? ඔයා කරන වැඩ දෙකෙන් එකකට ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනෙ නැත්නම් ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි. උදාහරණෙකට සින්දු අහන ගමන් ඔයාට ඔයාගේ කාමරේ අස් කරගන්න පුළුවන් වෙයි.

 ඒත් ඔයා කරන්න හදන වැඩ දෙකටම හොඳ අවධානයක් දෙන්න ඕනෙ නම් ඒ දෙනෙක් එකක්වත් ඔයාට හරියට කරගන්න බැරි වෙයි. “එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න හදන එකෙන් වෙන්නේ එකම වෙලාවේ වැඩ දෙක තුනක් අනාගන්න එකයි” කියලා කැත්රීන් කියනවා.

 “මං යාළුවෙක් එක්ක කතා කරකර ඉද්දී මගේ ෆෝන් එකට මෙසේජ් එකක් ආවා. මං යාළුවා එක්ක කතා කරන ගමන්ම ඒ මෙසේජ් එකට රිප්ලයි කරන්න හැදුවා. මගේ යාළුවා කියපු වැඩි හරියක් මගේ ඔළුවට ගියෙත් නැහැ මං මෙසේජ් එක ටයිප් කරලා තිබුණෙත් වැරදියට.”—කේලබ්.

 තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වන ෂෙරී ටර්කල් මෙහෙම ලිව්වා. “එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න ගියාම එක වැඩක්වත් හරියට කෙරෙන්නේ නැහැ. වැඩ කීපයක්ම එකම සැරේ කරද්දී අපිට හිතෙන්නේ අපි කලින් කළාට වඩා හොඳට දැන් ඒවා කරනවා කියලා. ඒත් ඇත්තට වෙන්නේ ඒකේ අනිත් පැත්ත.” a

 “දවසක් මං යාළුවෙක් එක්ක කතා කරන ගමන් තව කෙනෙක්ට මෙසේජස් යවයව හිටියා. ටිකකින් බලද්දී මං ඒ දෙකම පටලගෙන. යාළුවාට කටින් කියන්න ඕනෙ දේ මං මෙසේජ් එකේ යවලා. මෙසේජ් එකේ යවන්න ඕනෙ දේ මං යාළුවාට කියලා.”—තමාරා.

 එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න හදන අය ඇත්තටම වැඩ අමාරු කරගන්නවා. උදාහරණෙකට ඒ වගේ අයට ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න සාමාන්‍යයට වඩා වැඩි වෙලාවක් යනවා. එහෙම නැත්නම් ගෙදර වැඩේ හරියට කළේ නැති නිසා ඒක ආයෙත් කරන්න වෙනවා. ඒ කොහොම වුණත් ඒ වගේ අයට වෙන දේවල් කරන්න තියෙන කාලේ අඩුයි.

 මනෝ වෙද්‍යවරයෙක් සහ පාසැල් උපදේශකයෙක් වන තෝමස් කර්ස්ටිං මෙහෙම කියනවා. “අපේ මොළේ අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් ෆයිල්ස් පිළිවෙළකට දාලා තියෙන ලාච්චුවක් නම් එකම පාර වැඩ දෙක තුනක් කරන්න හදන කෙනෙක්ගේ මොළේ කිසිම පිළිවෙළක් නැති ලාච්චුවක් වගේ කියලා කියන්න පුළුවන්.” b

 “එකම වෙලාවේ වැඩ කීපයක්ම කරන්න හදද්දී සමහර අත්‍යවශ්‍ය තොරතුරු මඟ හැරෙන්න පුළුවන්. ඒ නිසා ඒ වැඩේ හරියට කරන්න ඔයාට වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා වගේම වැඩිපුර කාලයක් යොදවන්නත් වෙනවා. කාලේ ඉතුරු වෙනවා කියලා හිතුවාට ඇත්තට වෙන්නේ කාලේ නාස්ති වෙන එකයි.”—තෙරේසා.

එකම වෙලාවේ වැඩ දෙක තුනක් කරන්න හදන එක හරියට පාරවල් දෙකක එකම වෙලාවේ යන්න හදනවා වගේ

 වඩා හොඳ දේ

  •   එක වෙලාවකදී එක වැඩක් කරන්න පුරුදු වෙන්න. ඔයා සාමාන්‍යයෙන් ඉස්කෝලේ වැඩ කරන ගමන් යාළුවන්ට මෙසේජස් යවනවා කියලා හිතන්න. එහෙමනම් ඉස්කෝලේ වැඩ කරද්දී ඒකට විතරක් අවධානය දෙන එක මුලදී ඔයාට අමාරු වෙන්න පුළුවන්. බයිබලේ අපිට උනන්දු කරන්නේ ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා අවබෝධ කරගන්න’ කියලා. (ෆිලිප්පි 1:10) අපිට කරන්න තියෙන හැම වැඩක්ම එක වගේ වැදගත් නැහැ. වඩාත් වැදගත් දේවල් මොනවාද කියලා තීරණය කරන්න. ඊටපස්සේ ඒක ඉවර වෙන කල් වෙන දේවල් කරන්න එපා.

     “එක දේකට අවධානය දෙන්න බැරි කෙනෙක්ගේ මනස පොඩි ළමයෙක්ගේ වගේ. පොඩි ළමයෙක්ට ඕනෙ එයාට ඕනෙ ඕනෙ දේ කරන්න. ඒකට ඉඩ දෙන එක ලේසියි. ඒත් සමහර වෙලාවට එයාට ඕනෙ දේ කරන්න බැහැ කියලා ටිකක් තදින් කියන්න වෙනවා.”—මරියා.

  •   ඔයාගේ අවධානය කඩන දේවල් අයින් කරන්න. පාඩම් කරන ගමන් ඔයාට ඔයාගේ ෆෝන් එක බලන්න හිතෙනවාද? ඒක වෙන තැනක තියන්න. TV එක ඕෆ් කරන්න. සමාජ ජාලා වෙබ් අඩවිවලට යන්න හිතන්නවත් එපා. බයිබලේ කියන්නේ “ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න” කියලයි.—කොලොස්සි 4:5.

     “එක වෙලාවකදී එක වැඩකට අවධානය දෙන එක වඩාත් හොඳයි කියලා මං තේරුම්ගත්තා. එදා දවසේ කරන්න තියෙන වැඩ එකින් එක කරලා ඉවර වෙද්දී මට දැනෙන්නේ ලොකු සතුටක්.”—ඔන්යා.

  •   කෙනෙක් එකක් කතා කරද්දී වෙන දෙයක් කරන්න එපා. කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී ඔයා ඔයාගේ ෆෝන් එක බලන්න ගියොත් ඒකෙන් ඔයා පෙන්නන්නේ එයා කියන දේවල් ඔයාට එච්චර වැදගත් නැහැ කියලයි. ඒ වගේම ඔයාලා කතා කරන එකෙනුත් වැඩක් නැහැ. බයිබලේ කියන්නේ අනිත් අය අපිට කරනවාට අපි කැමති දේ එයාලට කරන්න කියලයි.—මතෙව් 7:12.

     “සමහර වෙලාවට මං මගේ අක්කත් එක්ක කතා කරකර ඉද්දී එයා වෙන කෙනෙක්ට මෙසේජ් කරනවා. එහෙම නැත්නම් ෆෝන් එකෙන් වෙන මොනා හරි දෙයක් කරනවා. ඒ වගේ වෙලාවට මට මරන්න තරම් කේන්තියක් එනවා. ඒත් ඇත්තම කියනවා නම් සමහර වෙලාවට මාත් කරන්නේ ඒ දේමයි.”—ඩේවිඩ්.

a Reclaiming Conversation කියන පොතෙන්.

b Disconnected කියන පොතෙන්.