Skip to content

යොවුන් සිතේ ගැටලු

මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?

මම වගකීමෙන් වැඩ කරන කෙනෙක්ද?

 මම කොයි වගේ කෙනෙක්ද?

  •  මම හැම තිස්සෙම . . . , මම හුඟක් වෙලාවට . . . , මම සමහර වෙලාවට . . . , මම කොහොමටවත් . . . නැහැ

    •  අවංකයි

    •  විශ්වාසවන්තයි

    •  වෙලාවට වැඩ කරනවා

    •  කඩිසරයි

    •  පිළිවෙළට වැඩ කරනවා

    •  අනිත් අයට උදව් කරනවා

    •  සාධාරණයි

    •  අනිත් අයට ගරු කරනවා

    •  අනිත් අය ගැන සැලකිලිමත්

  •   ඔයාට වැඩියෙන්ම තියෙන්නේ ඒ ගුණාංගවලින් කොයි ඒවාද?

     ඒ ගුණාංග දිගටම තියාගන්න.—ෆිලිප්පි 3:16.

  •   ඔයා වැඩියෙන්ම දියුණු කරගන්න ඕන මොන ගුණාංගයද?

 ඒක කරන්න මේ තොරතුරු ඔයාට උදව් වෙයි.

 වගකීමෙන් වැඩ කරන කෙනෙක් මොන වගේද?

 වගකීමෙන් වැඩ කරන කෙනෙක් ගෙදරට, ඉස්කෝලෙට හා සමාජයට එයාගෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරනවා. තමන් කරන කියන දේවල් ගැන වග කියන්න ඕන කියන හැඟීම එයාට තියෙනවා. ඒ නිසා වරදක් වුණාම ඒක පිළි අරන් සමාව ඉල්ලලා ඒක හදාගන්න පියවර ගන්නවා.

 බයිබලයේ මෙහෙම කියනවා: “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි.”—ගලාති 6:5.

 මම වගකීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන ඇයි?

  වගකීමෙන් වැඩ කරන කෙනෙක් එයාගේ හැකියාවන් හොඳින් පාවිච්චි කරන නිසා එයාට අනිත් අයගේ ගෞරවය ලැබෙනවා. ඒ වගේ කෙනෙක්ව සලකන්නේ සිහිබුද්ධියෙන් වැඩ කරන කෙනෙක් විදිහටයි. එයාට වැඩි නිදහසක් වගේම වරප්‍රසාදත් ලැබෙනවා.

 බයිබලයේ මෙහෙම කියනවා: “මිනිසෙක් තමා කරන වැඩය දක්ෂ ලෙස කරන්නෙහි නම් ඔහු රජවරුන් ඉදිරියට යන්නේය.”—හිතෝපදේශ 22:29.

  සාමාන්‍යයෙන් වගකීමෙන් වැඩ කරන අය බෙදා හදා ගන්න කැමතියි. ඒ නිසා හොඳ බැඳීම් ඇති කරගන්න එයාලට පුළුවන් වෙනවා.

 බයිබලයේ මෙහෙම කියනවා: “දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.”—ලූක් 6:38.

  වගකීමෙන් වැඩ කරන කෙනෙක් හොඳින් දේවල් කරන නිසා එයාට එයා ගැනම ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසා එයාගේ ආත්ම විශ්වාසය වැඩි වෙනවා.

 බයිබලයේ මෙහෙම කියනවා: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන.”—ගලාති 6:4.

 මීට වඩා වගකීමෙන් වැඩ කරන්න මට පුළුවන් කොහොමද?

 ඒකට උත්තරේ දැනගන්න සමහර යෞවන යෞවනියන්ගේ අදහස් සලකලා බලන්න. එහෙම කරන ගමන් කල්පනා කරලා බලන්න ඒ අදහස්වලින් ඔයාගේ අදහස්වලට වැඩියෙන්ම ගැළපෙන්නේ කොයි ඒවාද කියලා.

 “ටික වෙලාවකට හරි කොහේ හරි ගියොත් මම කොහෙද ඉන්නේ කියලා අම්මටයි තාත්තටයි කෝල් කරලා කියන්න ඕනේ. පොඩි ළමයෙක් වගේ මාව ඒ විදිහට සලකනවාට මම පොඩ්ඩක්වත් ආස නැහැ.”—කෙරී.

 “මගේ දෙමව්පියන් නම් මගේ යාළුවොත් එක්ක යන්න ඉඩ දෙනවා.”—රිචඩ්.

 “මගේ වයසේ ඉන්න අනිත් ළමයින්ට කොච්චර නිදහසක් තියෙනවද කියලා දැක්කම මට හිතෙනවා ‘ඇයි මගේ දෙමව්පියන් ඒ වගේ නිදහසක් මට දෙන්නේ නැත්තේ’ කියලා.”—ඈන්.

 “හුඟක් වෙලාවට මගේ දෙමව්පියන් මම කැමති දේවල් කරන්න මට ඉඩ දෙනවා. මං ගැන හිතලා ඒ වගේ නිදහසක් දීලා තියෙන එක ගැන මට හුඟක් සතුටුයි.”—මරීනා.

ඔයා මුල් තැන දෙන්නේ සෙල්ලමටද නැත්නම් ඔයාට කරන්න තියෙන වැඩවලටද?

 මේක මතක තියාගන්න: යොවුන් වියේ ඉන්න සමහර දරුවන්ට අනිත් දරුවන්ට වඩා නිදහසක් ලැබිලා තියෙනවා. එහෙම වෙන්නේ ඇයි?

 යථාර්ථය: ඔයා දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගන්න තරමට තමයි ඔයාට කොච්චර නිදහසක් ලැබෙනවාද කියන එක තීරණය වෙන්නේ.

 රිචඩ් හා මරීනා ඒ ගැන කියපු දේ බලන්න.

 රිචඩ්: “මට දීලා තියෙන නිදහස මම හරි විදිහට පාවිච්චි කරයිද කියලා අම්මටයි තාත්තටයි සැකයක් තිබුණා. හැබැයි මම වගකීමෙන් වැඩ කරනවා කියලා ඒගොල්ලන්ට තේරුණ නිසා මුලින් තිබුණ සැකය නැති වුණා. මම යන එන තැන් ගැනයි යන්නේ කා එක්කද කියන එක ගැනයි දෙමව්පියන්ට බොරු කියන්නේ නැහැ. මගෙන් අහනකං ඉන්නේ නැතුව හැම විස්තරයක්ම මම ඒගොල්ලන්ට කියනවා.”

 මරීනා: “මුළු ජීවිතේටම මම ගෙදරට කිව්වේ බොරු දෙකයි. හැබැයි ඒ දෙකම අහු වුණා. එදා ඉඳලා මම නිතරම දෙමව්පියන්ට ඇත්ත කිව්වා. මම කරන හැම දෙයක්ම අම්මලට කියනවා. කොහේ හරි ගියොත් කෝල් කරනවා. ඒ නිසා අම්මටයි තාත්තටයි දැන් මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා.”

 රිචඩ්ගෙයි මරීනාගෙයි දෙමව්පියන් වගේ ඔයාගේ දෙමව්පියනුත් ඔයාට සලකනවාට ඔයා කැමතිද? එහෙමනම් මේ පැති ගැන හිතන්න.

ගෙදරදී

  •   ගෙදරදොරේ වැඩක් පළක් කරන්න දුන්නාම ඒක අතපසු නොකර කරනවාද?

  •   ගෙදරට එන්න වෙලාවක් දීලා තියෙනවා නම් ඒ වෙලාවටම එනවාද?

  •   පවුලේ අයට ගෞරවයෙන් සලකනවාද?

 ඒ පැති තුනෙන් ඔයා හදාගන්න ඕන මොනවාද?

 බයිබලයේ මෙහෙම කියනවා: “ඔබේ දෙමාපියන්ට කීකරු වන්න.”—එෆීස 6:1.

ඉස්කෝලේ වැඩවලදී

  •   ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ හරියට කරනවාද?

  •   ලකුණු වැඩි කරගන්න උත්සාහ කරනවාද?

  •   පාඩම් කරන්න වෙලාව වෙන් කරගෙන තියෙනවාද?

 ඒ පැති තුනෙන් ඔයා හදාගන්න ඕන මොනවාද?

 බයිබලයේ මෙහෙම කියනවා: ‘ප්‍රඥාව ආරක්ෂාවකි.’ (දේශනාකාරයා 7:12) හොඳ අධ්‍යාපනයක් ලැබුවොත් ප්‍රඥාව වැඩි කරගන්න පුළුවන්.

හොඳ නමක්

  •   අනිත් අය හා දෙමව්පියන් එක්ක අවංකව කටයුතු කරනවාද?

  •   සල්ලි අරපරෙස්සමින් පාවිච්චි කරනවාද?

  •   අනිත් අයගේ විශ්වාසය දිනාගෙන තියෙනවාද?

 ඒ පැති තුනෙන් ඔයා හදාගන්න ඕන මොනවාද?

 බයිබලයේ මෙහෙම කියනවා: ‘අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න.’ (එෆීස 4:24) හොඳ පුරුදු වර්ධනය කරගන්නත් හොඳ නමක් ඇති කරගන්නත් ඔයාට පුළුවන්.

 මෙහෙම කරලා බලන්න: ඔයා තව දියුණු කරගන්න ඕන මොන ගුණාංගයද කියලා හිතන්න. ඒ ගුණාංගය දියුණු කරගෙන තියෙන අය එක්ක කතා කරලා එයාලගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න. ඊටපස්සේ ඒ ගුණාංගය දියුණු කරගන්න ඔයා කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවාද කියලත් ලියාගන්න. කරන්න පුළුවන් වුණ දේවල් හා බැරි වුණ දේවල් මාසයක් පුරා ලියාගන්න. එතකොට මාසේ අන්තිමට කොච්චර දුරට ඒ ගුණාංගය වර්ධනය කරගන්න පුළුවන් වුණාද කියලා ඔයාට බලාගන්න පුළුවන් වෙයි.