Skip to content

යොවුන් සිතේ ගැටලු

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 2වෙනි කොටස: වේදනාවෙන් ගොඩ එන්න

ලිංගික අතවර ගැන මම දැනගෙන ඉන්න ඕන දේ - 2වෙනි කොටස: වේදනාවෙන් ගොඩ එන්න

 තමන්ට වරද පටවගන්න එපා

 ලිංගික අතවරවලට ගොදුරු වන හුඟක් අය තමන්ට සිද්ධ වුණ දේ ගැන ලැජ්ජාවට පත් වෙනවා. ඒකට තමන් වගකියන්න ඕන කියලා තමන්ටම වරද පටවගන්නත් ඉඩ තියෙනවා. අවුරුදු 19ක් වන කැරන් වයස අවුරුදු 6 ඉඳලා 13 වෙනකල්ම ලිංගික අතවරයට ලක් වුණා. ඇය මෙහෙම කියනවා. “අමාරුම දේ තමයි මම වරදක් කරා කියන හැඟීම ඇති වෙන එක. එච්චර කාලයක් තිස්සේ මාව දූෂණය කරන්න ඉඩ දුන්නේ ඇයි කියලා මම නිතරම හිතින් වධ වෙනවා.”

 ඔයාත් ඉන්නේ ඒ වගේ තත්වයක නම් මේ දේවල් ගැන හිතලා බලන්න.

  •   බාල වියේ ඉන්න දරුවන් ලිංගික සම්බන්ධකම්වල බැරෑරුම්කම දන්නේ නැහැ. ඒකට ඔවුන්ගේ මනස සහ ශරීරය සූදානම් වෙලාත් නැහැ. ඒ වයසේදී ලිංගික අතවරයට ගොදුරු වුණොත්, දැන දැනම ඒකට ඉඩ දුන්නා කියලා කියන්න බැහැ. ඒ නිසා අතවරයට ගොදුරු වෙන ළමයින්ගේ අතේ වරදක් නැහැ.

  •   ගොඩක් වෙලාවට වැඩිහිටි අයව විශ්වාස කරන අහිංසක දරුවන් ඒ අයගේ කපටි උපායන්වලට අහු වෙනවා. එක පොතක මෙහෙම කියනවා. “කාමාතුරයන් කපටිකමින් දරුවන්ව රවට්ටන්න හරිම දක්ෂයි. ඔවුන්ගේ උපායන්වලට දරුවෝ නොදැනීම අහු වෙනවා.”—The Right to Innocence.

  •   දූෂණයට ලක් වෙන අවස්ථාවේදී දරුවෙක් තුළ ලිංගික හැඟීම් පිබිදෙන්න පුළුවන්. කවුරු හරි ඔයාගේ ශරීරය යම් විදිහකට ස්පර්ශ කරද්දී ඉබේම ඒ වගේ හැඟීම් ඇති වෙනවා කියලා මතක තියාගන්න. ඒකෙන් අදහස් කරන්නේ ඔයා ඒ දේට අනුබල දුන්නා කියන එක නෙමෙයි. ඒ නිසා ඔයාටම වරද පටවගන්න එපා.

 යෝජනාවක්: ඔයා බාල වයසේදීම දූෂණයට ලක් වුණා නම්, දැන් ඒ වයසේ ඉන්න දරුවෙක් ගැන හිතන්න. ‘ඒ පුංචි දරුවා ලිංගික අතවරයට ගොදුරු වුණොත් ඒකට වගකියන්න ඕන ඒ දරුවා කියලා හිතන එක සාධාරණද’ කියලා ඔයා ඔයාගෙන්ම අහලා බලන්න.

 කැරන් පුංචි ළමයි තුන්දෙනෙක්ව බලාගන්න ගියා. ඒ තුන්දෙනාගෙන් එක් කෙනෙක්ගේ වයස අවුරුදු 6ක් විතර ඇති. කැරන්ව ලිංගික අතවරයට ගොදුරු වෙන්න පටන්ගත්තේ ඒ වයසේදියි. කැරන් කියනවා “ඒ වයසේ ඉන්න දරුවෙක් ඒ වගේ වෙලාවක හුඟක් අසරණ වෙනවා. මාත් හිටියේ ඒ වගේ අසරණ තත්වයක කියලා මං තේරුම්ගත්තා” කියලා. තමන්ගේ අතේ වරදක් නැහැ කියලා කැරන්ට ඒකෙන් පැහැදිලි වුණා.

 මේක තේරුම්ගන්න: ඔබව දූෂණය කරපු කාමාතුරයා තමයි ඒකට වග කියන්න ඕනේ. බයිබලයේ කියන්නේ “දුෂ්ටයා කළ නපුරුකම්වල ප්‍රතිඵල ඔහුටම විඳින්න සිදු වෙයි” කියලයි.—එසකියෙල් 18:20.

 විශ්වාසවන්ත කෙනෙක්ට කියන්න

 අතවරයට ගොදුරු වුණ සිද්ධිය විශ්වාසවන්ත කෙනෙක්ට කියනවා නම් ඔයාට සහනයක් ලබාගන්න පුළුවන්. බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි. ඔහු විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

 සිද්ධ වුණ දේ ගැන කාටවත් නොකියා ඉන්න එක ඇඟට ගුණයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. කියන්න ගියොත් වෙන්නේ තවත් හිත රිදෙන එක විතරයි කියලා හිතලා ඔයා නිහඬ වෙන්න ඉඩ තියෙනවා. ඒක හරියට අනිත් අයගෙන් ඔයාව වෙන් කරන තාප්පයක් වගේ. ඒක රහසක් හැටියට තියාගන්න එකෙන් වෙන්නේ ලබාගන්න පුළුවන් උපකාර නැති වෙන එක විතරයි.

නිහඬ වෙන එක හරියට අනිත් අයගෙන් ඔයාව වෙන් කරන තාප්පයක් වගේ. ඒකෙන් වෙන්නේ ලබාගන්න පුළුවන් උපකාර නැති වෙන එක විතරයි

 ජැනට් කියන තරුණිය දූෂණයට ගොදුරු වුණ සිද්ධිය ගැන විශ්වාසවන්ත කෙනෙකුට කිව්ව එකෙන් සහනයක් ලැබුවා. ඇය මෙහෙම කියනවා. “හුඟක් විශ්වාසවන්ත, දන්න කියන කෙනෙක් පුංචි කාලෙදිම මාව දූෂණය කළා. මම ඒක සෑහෙන කාලයක් හංගගෙන හිටියා. ඒත් ඒක අම්මාට කිව්වාට පස්සේ මගේ ඔළුවේ තිබුණ ලොකු බරක් බිමින් තිබ්බා වගේ කියලා මට දැනුණා.”

 අතීතය ගැන හිතද්දී සමහරු ඒ වගේ දෙයක් කියන්න අදිමදි කරන්නේ ඇයි කියලා ජැනට්ට තේරුම් ගන්න පුළුවන්. ඇය මෙහෙම කිව්වා. “ලිංගික දූෂණය කියන මාතෘකාව කතා කරන්න ආස හිතෙන දෙයක් නෙමෙයි. ඒත් කාලයක් තිස්සේ හිතින් වේදනා විඳවිඳ ඉන්නේ නැතුව ඒ ගැන කාට හරි කිව්වා නම් සහනයක් ලබාගන්න තිබුණා.”

 ‘සුව වෙන්න කාලයක්’

 ලිංගික දූෂණයට ගොදුරු වුණ කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං දැන් කැළැල් වුණ වැඩකට නැති කෙනෙක් කියලා. එහෙම නැත්නම් අනිත් අයගේ ලිංගික ආශාවන් ඉටු කරන්න ඉන්න කෙනෙක් විතරයි කියලා. ඒ වැරදි සිතුවිලි දැන් අයින් කරගන්න ඔබට පුළුවන්. හිතේ වේදනාව ‘සුව වෙන්න කාලයක්’ යනවා. (දේශනාකාරයා 3:3) ඒකට උදව් වෙන්නේ මොනවාද?

 බයිබලය අධ්‍යයනය කරන්න. බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ සිතුවිලි. ඒවාට පුළුවන් ‘බලකොටු හා සමාන ඕනෑම දෙයක් බිඳ හෙළන්න.’ ඒ කියන්නේ ඔයාගේ වටිනාකමක් නැහැ කියලා ඔයාට හැඟෙන සිතුවිලි අයින් කරන්න ඒවාට පුළුවන්. (2 කොරින්ති 10:4, 5) උදාහරණෙකට මේ බයිබල් පද කියවලා ගැඹුරින් හිතන්න. යෙසායා 41:10; යෙරෙමියා 31:3; මලාකි 3:16, 17; ලූක් 12:6, 7; 1 යොහන් 3:19, 20.

 යාච්ඤා කරන්න. තමන්ගේ වටිනාකමක් නැහැ කියන හැඟීම හරි වරදකාරී හැඟීමක් හරි ඇති වෙලා තියෙනවා නම් යාච්ඤා කරලා “සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න.” (ගීතාවලිය 55:22) ඔයා තනි වෙලා නැහැ.

 සභාවේ වැඩිමහල්ලන්. ඔවුන්ව පුහුණු කරලා තියෙන්නේ ‘සුළඟින් මුවා වීමට ස්ථානයක් හා කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක්’ වෙන්නයි. (යෙසායා 32:2) ඔයා ගැන හොඳ ආකල්පයක් ඇති කරගෙන එදිනෙදා කටයුතු හොඳින් කරගෙන යන්න ඔයාට උදව් කරන්න ඒ අයට පුළුවන්.

 හොඳ ආශ්‍රය. බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන අයව නිරීක්ෂණය කරන්න. ඒ අය අනිත් අයට සලකන්නේ කොහොමද කියලා බලන්න. අනිත් අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැති, අනිත් අයට ඇත්තටම ආදරය කරන අයත් ඉන්නවා කියලා කල් යද්දී ඔයාට තේරෙයි.

 ටාන්යා කියන යෞවනිය වටිනා දෙයක් දැනගනිමින් ඉන්නවා. පුංචි කාලෙදි පුරුෂයන් කීපදෙනෙක්ම ඇයව ලිංගික දූෂණයට ගොදුරු කරගත්තා. ඇය කියන්නේ “මම ගොඩක් විශ්වාස කරපු අයම තමයි මාව දූෂණය කෙරුවේ” කියලා. හැබැයි කාලයක් යද්දී ටාන්යා තේරුම්ගත්තා හැම පුරුෂයෙක්ම ඇයව දූෂණය කරපු අය වගේ නෙමෙයි, ඇත්තටම ආදරේ පෙන්වන අයත් ඉන්නවා කියලා. ඇය ඒක දැනගත්තේ කොහොමද?

 බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන ස්වාමිපුරුෂයෙකුයි භාර්යාවකුයි එක්ක ඇය ආශ්‍රය කරද්දී හිතුව විදිහ වෙනස් කරගත්තා. “ඒ ස්වාමිපුරුෂයා ක්‍රියා කරපු විදිහෙන් මම දැක්කා හැම පුරුෂයෙක්ම අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ කියලා. ස්වාමිපුරුෂයා භාර්යාවව ආරක්ෂා කළා. දෙවියන් ස්වාමිපුරුෂයෙක්ගෙන් බලාපොරොත්තු වුණේ ඒ දේමයි.” aඑෆීස 5:28, 29.

a දිගටම පවතින මානසික අවපීඩනය, ආහාර ගැනීමේ අක්‍රමිකතා, තමන්වම කපාගැනීම, මත්පැන් අනිසි භාවිතය, නින්ද නොයෑම, සිය දිවි හානි කරගැනීමේ සිතුවිලි ඇති වීම වගේ ප්‍රශ්න තියෙනවා නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් උපකාර ලබාගන්න.