Skip to content

යොවුන් සිතේ ගැටලු

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—2වෙනි කොටස: බයිබලය කියවන එකෙන් සතුටක් ලබමු

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—2වෙනි කොටස: බයිබලය කියවන එකෙන් සතුටක් ලබමු

 “බයිබලය කියවන්න ඕනෙ හරි විදිහ දන්නේ නැත්නම් බයිබලය කියවන එක එපා වෙන්න පුළුවන්” කියලා යෞවන වයසේ ඉන්න විල් කියනවා.

 බයිබලය කියවන එකෙන් සතුටක් ලබන්න පුළුවන් විදිහ දැනගන්න ඔයාත් ආසයිද? එහෙනම් මේ ලිපිය ඔයාට උදව් වෙයි.

 කියවන දේට ජීවයක් එකතු කරන්න

 බයිබලයෙන් යම් සිද්ධියක් ගැන කියවද්දී එතන ඔයාත් ඉන්නවා කියලා හිතන්න. මේ දේවල් අත්හදා බලන්න ඔයාට පුළුවන්.

  1.   කොටසක් තෝරගන්න. මුලින්ම බයිබලයේ ඔයා ආස කරන කොටසක් තෝරගන්න. අතීතයේ වුණ සිද්ධියක් ගැන වාර්තාවක්, සුවිශේෂවල සඳහන් වාර්තාවක් නැත්නම් jw.org එකේ තියෙන නාට්‍යමය ආකාරයට ඇති බයිබල් කියවීමෙන් කොටසක් ඔයාට තෝරගන්න පුළුවන්.

  2.   ඒ කොටස කියවන්න. ඔයාට ඒක තනියම කියවන්නත් පුළුවන්. නැත්නම් යාළුවෝ හරි පවුලේ අය හරි එක්ක එකතු වෙලා කියවන්නත් පුළුවන්. එහෙම කරද්දී එක් එක් අය අතරේ චරිත බෙදාගෙන කියෙව්වොත් ඒක තවත් රසවත් වෙයි.

  3.   මේ යෝජනාවලින් එකක් හරි කීපයක් හරි අත්හදා බලන්න.

    •   කියවපු දේ චිත්‍රයට නඟන්න. නැත්නම් සිද්ධිය වෙච්ච අනුපිළිවෙළට පුංචි පුංචි චිත්‍ර ඇඳලා ඒ චිත්‍ර යටින් පොඩි විස්තරයක් ලියන්න.

    •   රූප සටහන් අඳින්න. ඔයා දෙවිට විශ්වාසවන්තව හිටපු කෙනෙක් ගැන කියෙව්වා කියලා හිතන්න. ඒ කෙනාට තිබුණ හොඳ ගුණාංග නිසා එයා කරන්න පෙලඹුණ දේවල් සහ ඒ නිසා එයාට ලැබුණ ආශීර්වාද සම්බන්ධ කරලා රූප සටහනක් අඳින්න.

    •   කියවපු සිද්ධිය අලුත් විදිහකට දකින්න උත්සාහ කරන්න. ඒ සිද්ධිය වාර්තාකරුවෙක් වාර්තා කරන විදිහට ලියන්න. එයා සිද්ධිය දකින විවිධ පැති විස්තර කරන්න. සිද්ධියේ ප්‍රධාන චරිත සහ ඒක ඇසින් දුටු අය එක්ක කරන සාකච්ඡාත් ඒකට ඇතුළත් කරන්න.

    •   බයිබල් වාර්තාවේ ඉන්න කෙනෙක් වැරදි තීරණයක් ගත්තා නම් එයාට ඒ වෙලාවේ හරි නම් කරන්න තිබුණේ මොකක්ද කියලා හිතන්න. උදාහරණෙකට පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියපු අවස්ථාව. (මාක් 14:66-72) ඒ වෙලාවේ ලොකු පීඩනයක් දැනුණත් හරි නම් පේතෘස්ට කරන්න තිබුණේ මොකක්ද කියලා හිතන්න.

    •   ඔයා කැමති බයිබල් කොටසක් පදනම් කරගෙන නාට්‍යයක් හදන්නත් ඔයාට පුළුවන්. ඒ කොටසින් ඉගෙනගන්න පුළුවන් පාඩම් ඒකට ඇතුළත් කරන්න.—රෝම 15:4.

      බයිබල් කියවීමට ජීවයක් එකතු කරන්න ඔයාට පුළුවන්!

 තොරතුරු ගැන හොඳට හොයලා බලන්න

 තොරතුරු එකින් එකට හොඳට හොයලා බැලුවොත් වටිනා මැණික් වගේ ලස්සන තොරතුරු හොයාගන්න ඔයාට පුළුවන්. සමහරවිට බයිබලයේ සඳහන් වචනයක් නැත්නම් දෙකක වුණත් ලොකු වැදගත්කමක් තියෙනවා.

 උදාහරණෙකට මතෙව් 28:7 සහ මාක් 16:7 සන්සන්දනය කරන්න.

  •    යේසුස්ව ගෝලයන්ට “සහ පේතෘස්ට” ඉක්මනින්ම දකින්න ලැබෙයි කියන අමතර විස්තරය මාක් වාර්තා කළේ ඇයි?

  •  හෝඩුවාව: ඒ සිදුවීම් මාක් ඇස් දෙකෙන්ම දැක්කේ නැහැ. සමහරවිට එයා ඒ ගැන දැනගත්තේ පේතෘස්ගෙන් වෙන්න පුළුවන්.

  •  සැඟවුණ මැණික: යේසුස්, පේතෘස්ව දැකගන්න ආසාවෙන් ඉන්නවා කියලා දැනගත්තාම පේතෘස්ට ලොකු සහනයක් දැනෙන්න ඇත්තේ ඇයි? (මාක් 14:66-72) තමන් ඇත්තටම පේතෘස්ගේ හොඳ යාළුවෙක් කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? යේසුස් වගේ ඔයාටත් අනිත් අයට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද?

 ඔයා කියවන දේට ජීවයක් එකතු කරලා පුංචි පුංචි තොරතුරු වුණත් එකින් එක අරන් හොඳට අධ්‍යයනය කරනවා නම් බයිබල් කියවීම රසවත් එකක් කරගන්න ඔයාට පුළුවන්.