Skip to content

යොවුන් සිතේ ගැටලු

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 1වෙනි කොටස: බව්තීස්මයෙන් අදහස් වෙන දේ

බව්තීස්ම වෙන්නම ඕනෙද? – 1වෙනි කොටස: බව්තීස්මයෙන් අදහස් වෙන දේ

 හැම අවුරුද්දකම සත්‍යය තුළ හැදී වැඩුණු යෞවනයන් හුඟදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට බව්තීස්ම වෙනවා. ඔයාත් බව්තීස්ම වෙන එක ගැන හිතලා තියෙනවාද? එහෙනම් ඔයා මුලින්ම තේරුම්ගන්න ඕනෙ කැප වෙන එකෙන් සහ බව්තීස්ම වෙන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා.

 බව්තීස්ම වෙනවා කියන්නේ මොකක්ද?

 බව්තීස්මය කියන්නේ කෙනෙක්ගේ ඔළුවට නිකම්ම වතුර ඉහින එකට නෙවෙයි. බයිබලේ කියන දේවල්වලින් පැහැදිලි වෙනවා බව්තීස්ම කරද්දී කෙනෙක්ව සම්පූර්ණයෙන්ම වතුරේ ගිල්වලා උඩට ගන්න ඕනෙ කියලා. ඒකෙන් විශේෂ දෙයක් සංකේතවත් වෙනවා.

  •   වතුරේ ගිල්වන එකෙන් අදහස් කරන්නේ ඔයාගේ කැමැත්තට අනුව ගත කරපු ජීවිතය ඔයා අත්හැරලා තියෙනවා කියන එකයි.

  •   වතුරෙන් උඩට ගන්න එකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔයා අලුතින් ජීවිතයක් පටන්ගත්තා කියන එකයි.

 හරි වැරැද්ද තීරණය කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියන දේ ඔයා පිළිගන්නවා කියලා බව්තීස්ම වෙද්දී ඔයා හැමෝම ඉස්සරහා පෙන්නනවා. ඒ වගේම හැම කාරණයකදීම දෙවියන්ට කීකරු වෙන්න ඔයා පොරොන්දු වෙලා තියෙනවා කියන දේත් ඒකෙන් පෙන්නනවා.

 හිතන්න දෙයක්: ඔයා හැම කාරණයකදීම යෙහෝවා දෙවියන්ට කීකරු වෙනවා කියන එක ප්‍රසිද්ධියේ පෙන්නන්න ඕනෙ ඇයි? 1 යොහන් 4:19 සහ එළිදරව් 4:11 බලන්න.

 කැප වෙනවා කියන්නේ මොකක්ද?

 බව්තීස්ම වෙන්න කලින් ඔයා ඔයාගේ ජීවිතය යෙහෝවා දෙවියන්ට කැප කරන්න ඕනේ. ඒ කොහොමද?

 ඒක කරන්නේ පෞද්ගලිකව කරන යාච්ඤාවකින්. ඒ යාච්ඤාවේදී ඔයා පොරොන්දු වෙනවා අනිත් අය මොන දේ කළත් ඔයා මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් සදහටම ඔයා සේවය කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි කියලා.

 ඔයා ඒ පොරොන්දුව වෙලා තියෙනවා කියලා ඔයා බව්තීස්ම වෙද්දී හැමෝම දැනගන්නවා. ඒ වගේම එතනින් එහාට ඔයා අයිති ඔයාට නෙමෙයි, යෙහෝවා දෙවියන්ට කියලා අනිත් අය දැනගන්නවා.—මතෙව් 16:24.

 හිතන්න දෙයක්: ඔයාගේ ජීවිතේ යෙහෝවා දෙවියන්ට භාර දෙන එක තමයි හොඳම දේ කියලා කියන්නේ ඇයි? යෙසායා 48:17, 18 සහ හෙබ්‍රෙව් 11:6 බලන්න.

 බව්තීස්ම වෙන එක වැදගත් ඇයි?

 යේසුස් කිව්වා ඔහුගේ අනුගාමිකයන් අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනෙ කියලා. (මතෙව් 28:19, 20) ඒ නිසා අපි අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනේ. බයිබලේ කියනවා ඒක ගැලවීමටත් මඟ පාදනවා කියලා.—1 පේතෘස් 3:21.

 හැබැයි ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ ඒ හේතු නිසාම නෙමෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ සහ ඔහු ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන තියෙන අගය නිසයි. ඔයාත් හිතන්න ඕනෙ හරියට මේ ගීතිකාකරු හිතුවා වගෙයි. එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි මා වෙනුවෙන් කළ සියලු යහපත් දේවලට මම කෙසේ ඔහුට ස්තුති කරන්නද? යෙහෝවා දෙවිගේ නාමය කියා මම යාච්ඤා කරන්නෙමි. මම යෙහෝවා දෙවිට දුන් පොරොන්දු ඉටු කරන්නෙමි.’—ගීතාවලිය 116:12-14.

 හිතන්න දෙයක්: යෙහෝවා දෙවියන් දැනටමත් ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ මොනවාද? ඒ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවාද? ද්විතීය කතාව 10:12, 13 සහ රෝම 12:1 බලන්න.