Skip to content

යොවුන් සිතේ ගැටලු

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?

 ඔයා මොකද කරන්නේ?

 කරීනාට වුණ දේ බලන්න. ඒක ඔයාට වුණා නම් ඔයා මොකද කරන්නේ?

 කරීනා: “දවසක් මම වේගෙන් මගේ වාහනේ එළවගෙන යද්දී එකපාරටම පොලිස්සියෙන් මාව නවත්තලා මට දඩ කොළයක් දික් කරා. එදා මට ෆුල් අප්සෙට්. මං ඒ ගැන අම්මට කිව්වාම අම්මා කිව්වා ගිහිං තාත්තට කියන්න කියලා. හැබැයි මට කරන්න අමාරුම වැඩෙත් ඒක තමයි.”

  ඔයා මොකද කරන්නේ?

  1.  1. තාත්තා කවදාවත් ඒ ගැන දැනගන්න එකක් නෑ කියලා හිතලා නොකියා ඉන්නවා.

  2.  2. වෙච්ච හැම දේම තාත්තට කියනවා.

 ගොඩක් වෙලාවට පෙලඹෙන්නේ 1වෙනි දේ කරන්න නේද? සමහරවිට ඔයාගේ අම්මත් හිතයි එයා කියපු විදිහටම ඔයා ගිහින් හැම දේම තාත්තට කියන්න ඇති කියලා. හැබැයි දඩයක් කන එක විතරක් නෙවෙයි, මොන වැරැද්ද වුණත් හොඳම දේ ඒක හදාගන්න එක. ඇයි ඒ?

 කරපු වැරැද්ද පිළිගන්න ඕනෙ හේතු තුනක්

  1.  1. හරි දේ ඒකයි. බයිබලයේ කියන්නේ ක්‍රිස්තියානියෙක් ‘සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි’ කියලයි.—හෙබ්‍රෙව් 13:18.

     “වැරැද්දක් වෙච්ච ගමන්ම ඒක පිළි අරගෙන ඒක හදාගන්න මං ගොඩක් උත්සාහ කරනවා.”—ඇලෙක්සස්.

  2.  2. වැරදි පිළිගන්න අයට සමාව දෙන්න අනිත් අය කැමතියි. ඒ ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “තමාගේ වැරදි සඟවන තැනැත්තා සාර්ථක වන්නේ නැත. නමුත් ඒවා හෙළි කර ඒවායින් ඈත් වන්නාට දයාව පෙන්වනු ලැබේ.”—හිතෝපදේශ 28:13.

     “වැරැද්ද පිළිගන්න නම් ධෛර්යය ඕනේ. අපි එහෙම කරනවා නම් අනිත් අයගේ විශ්වාසය දිනාගන්න පුළුවන්. ඒ වගේම ඒ අය දකිනවා ඔයා අවංකයි කියලා. එහෙම බලද්දී වැරැද්ද පිළිගන්න එකෙන් වෙන්නේ ඇත්තටම හොඳ දෙයක්.”—රිචඩ්.

  3.  3. වැදගත්ම හේතුව යෙහෝවා දෙවියන් ඒ ගැන සතුටු වෙනවා. බයිබලයේ කියන දේ බලන්න. “වංක තැනැත්තා යෙහෝවා දෙවිට පිළිකුලක්ය. නමුත් අවංක අයට ඔහු ළංව සිටින්නේය.”—හිතෝපදේශ 3:32.

     “මගේ අතින් ලොකු වැරැද්දක් වුණා. ඊටපස්සේ මට තේරුණා මං ඒක ඉක්මනින්ම හදාගන්න ඕනෙ කියලා. මොකද එහෙම කරනවාටයි යෙහෝවා දෙවියන් කැමති. එහෙම නොකළොත් දෙවියන් මට ආශීර්වාද කරන්නේ නැහැ කියලා මං දන්නවා.”—රේචල්.

 තමන්ගේ අතින් වෙච්ච වැරැද්ද ගැන කරීනා මොකද කළේ? එයා කිසිම දෙයක් තාත්තට කිව්වේ නැහැ. හැබැයි හැමදාටම ඒක හංගගෙන ඉන්න එයාට බැරි වුණා. ඊටපස්සේ වුණ දේ ගැන කරීනා කිව්වේ මෙහෙමයි. “ඒ සිද්ධිය වෙලා අවුරුද්දකට විතර පස්සේ තාත්තා ලියකියවිලි වගයක් බලබලා ඉද්දී මගේ නම තිබුණ දඩ කොළේ තාත්තගේ අතටම අහු වුණා. එදා මං වැටුණේ ලොකු අමාරුවක. තාත්තට කියන්න කියලා අම්මා කියපු දේ මං අහපු නැති නිසා අම්මත් මාත් එක්ක තරහා වුණා.”

 ඉගෙනගත්ත පාඩම: කරීනා කිව්වේ මෙහෙමයි. “වැරදි හංගගෙන ඉන්න එකෙන් වෙන්නේ තවත් ප්‍රශ්න වැඩි වෙන එක විතරයි. කවදා හරි ඒකේ ප්‍රතිඵල විඳින්න වෙනවාමයි.”

 වැරදිවලින් පාඩමක් ඉගෙනගන්නේ කොහොමද?

 හැමෝගෙම අතින් වැරදි වෙනවා. (රෝම 3:23; 1 යොහන් 1:8) හැබැයි වැරැද්ද ඉක්මනින්ම පිළිගන්නවා නම් ඒකෙන් පෙන්නන්නේ ඔයා නිහතමානී කෙනෙක් වගේම හරි දේ කරන්න උත්සාහ කරන කෙනෙක් කියන එකයි.

 වැරැද්ද පිළිගත්තාට පස්සේ කරන්න ඕනෙ දේ තමයි ඒකෙන් පාඩමක් ඉගෙනගන්න එක. හැබැයි ගොඩක් යෞවනයන් කරන්නේ නැත්තෙත් ඒකම තමයි. සමහරවිට එයාලට හිතෙනවා ඇත්තේ ප්‍රිසිලා කියන යෞවනියට හිතුණ දේම වෙන්න ඇති. ඇය කියන්නේ මෙහෙමයි. “මං, මගේ වැරදි ගැන ඕනෑවට වඩා හිතහිතා දුක් වුණා. ඒකෙන් වුණේ මට ඒවා තවත් ලොකුවට පෙනුණ එක. අනික ඒක මට ලොකු පීඩනයක් වුණා. අන්තිමට මට මාවම එපා වුණා.”

 ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එහෙමනම් මේක මතක තියාගන්න. කරපු වැරදි ගැන හිතහිතා ඉන්න එක හරියට වාහනයේ කණ්ණාඩියෙන් පිටිපස්ස විතරක් බලාගෙන වාහනේ එළවනවා වගෙයි. ඒකෙන් වෙන්නේ ඉදිරියේදී එන අභියෝගවලට මුහුණ දෙන්න බැරි වෙන එකයි. අන්තිමට ඉතුරු වෙන්නේ දුක විතරයි.

 ඒ නිසා කරපු වැරැද්දෙන් පාඩමක් ඉගෙනගන්න උත්සාහ කරන්න.

 “කරපු වැරදි දිහා බලලා පාඩමක් ඉගෙනගන්න. හැබැයි ඔයාව අධෛර්යය වෙන තරමටම ඒවා ගැන හිතහිතා දුක් වෙන්න එපා.”—එලියෙට්.

 “කරපු හැම වැරැද්දකින්ම පාඩමක් ඉගෙනගන්න මං උත්සාහ කරනවා. ඒකෙන් වගකීමෙන් වැඩ කරන පුද්ගලයෙක් වෙන්නත් ඊළඟ සැරේ ඒ වැරැද්දම ආයෙත් නොකර ඉන්නත් මට පුළුවන්. කෙනෙක් එහෙම කරනවා නම් එයාට තව තවත් දියුණු වෙන්න පුළුවන්.”—විරා.