Skip to content

යොවුන් සිතේ ගැටලු

මේ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?

මේ වෙනසට මුහුණ දෙන්නේ කොහොමද?

 “වැඩිවියට පත් වෙද්දී ගැහැනු ළමයින්ට ඒක ලොකු කරදරයක්, වේදනාවක්. සමහර වෙලාවට හිරිකිතක් දැනෙනවා. මොනවා කරන්නද කියලා හිතාගන්නත් බැරි වෙනවා. ඒකට මුහුණ දෙන එක ලේසි නැහැ.”ඔක්සානා.

 “එක මොහොතක මං සතුටින් හිටියත් ඊළඟ මොහොතේ මට දුකක් දැනිලා තියෙනවා. මං දන්නේ නැහැ සාමාන්‍යයෙන් පිරිමි ළමයින්ට එහෙම වෙනවද කියලා. හැබැයි මට එහෙම වුණා.”බ්‍රයන්.

 කෙනෙක් රෝලකෝස්ටර් එකක යද්දී එයා යන්නේ හරිම ආසාවෙන්. හැබැයි එයාට බයකුත් දැනෙනවා. වැඩිවියට පත් වෙන වයසේ ඉන්න අයට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. මේ වෙනස්වීම්වලට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන් කොහොමද?

 වැඩිවියට පත් වෙනවා කියන්නේ මොකක්ද?

 වැඩිවියට පත් වෙන වයස කියන්නේ ඔයාගේ ශරීරය සහ හැඟීම් ඉක්මනින් වෙනස් වෙන කාලයක්. ශරීරයේ සහ හෝමෝනවල මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ ඔයාව දරුවන් බිහි කිරීමේ ක්‍රියාවලියට සූදානම් කරන්නයි.

 ඒ කියන්නේ ඔයා දැන් දෙමාපියෙක් වෙන්න සූදානම් කියන එකද? නැහැ. ඒත් වැඩිවියට පත් වෙනවා කියන්නේ ඔයා ළමා කාලය අත්හැරලා ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙන්න පටන්ගන්නවා කියන එකයි. වැඩිහිටියෙක් වෙලා දේවල් කරන්න ඔයා ආසාවෙන් හිටියත් ළමා කාලය ඉවරයි කියලා දැනෙද්දී ඔයාට දුකක් දැනෙන්නත් පුළුවන්.

 ඔයා හිතන්නේ: සාමාන්‍යයෙන් කෙනෙක් වැඩිවියට පත් වෙන්නේ මොන වයසේදිද?

  • 8

  • 9

  • 10

  • 11

  • 12

  • 13

  • 14

  • 15

  • 16

 උත්තරය: මේ ඕනම වයසකදී කෙනෙක් වැඩිවියට පත් වෙන්න පුළුවන්.

 ඔයාට අවුරුදු 14ක්, 15ක් වෙලත් සමහරවිට ඔයා තවමත් වැඩිවියට පත් වෙලා නැතුව ඇති. එහෙම නැත්නම් ඔයා අවුරුදු 10ටත් වඩා අඩු වයසක හිටියත් ඔයා දැනටමත් වැඩිවියට පත් වෙලා ඇති. ඒ මොන දේ වුණත් ඒ ගැන කලබල වෙන්න එපා. මොකද ඒක ස්වභාවිකව ඇති වන දෙයක් නිසා වැඩිවියට පත් වෙන වයස ඔයාට තීරණය කරන්න බැහැ.

රෝලකෝස්ටර් එකක යද්දී හරිම ආසයි. හැබැයි බයකුත් දැනෙනවා. වැඩිවියට පත් වෙන වයසේ ඉන්න අයට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. ඒත් ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට පුළුවන්.

 ශරීරයේ සිද්ධ වෙන වෙනස්කම්

 වැඩිවියට පත් වෙන කාලයේදී ඔයාගේ ශරීරය හරි ඉක්මනින් වර්ධනය වෙනවා. ඒත් ශරීරයේ හැම කොටසක්ම එකම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන ඕනෑවට වඩා හිතන්න එපා. කාලයත් එක්ක ඒ හැම දේම හරියයි.

 මේ කාලයේදී ඔයාගේ ශරීරයේ වෙනස්කම් ගොඩක් වෙනවා.

 ඔයා පිරිමි ළමයෙක් නම්:

  •   ලිංගික අවයවයන් වර්ධනය වෙනවා

  •   රැවුල වැවෙනවා. කිහිලිවල, ලිංගික අවයවයන් අවට රෝම වැවෙනවා

  •   කටහඬ ගොරෝසු වෙනවා

  •   යම් අවස්ථාවලදී ඉබේම ලිංගේන්ද්‍රය ප්‍රාණවත් වෙනවා. රෑ නින්දෙන් ශුක්‍රාණු පිට වෙනවා

 ඔයා ගැහැනු ළමයෙක් නම්:

  •   පියයුරු වර්ධනය වෙනවා

  •   කිහිලිවල සහ ලිංගික අවයවයන් අවට රෝම වැවෙනවා

  •   ඔසප් චක්‍රය පටන්ගන්නවා

 දෙගොල්ලන්ම වැඩිවියට පත් වෙද්දී:

  •   කලින්ට වඩා දහඩිය දාන්න පටන්ගන්නවා. ඒවා බැක්ටීරියා එක්ක එකතු වෙන නිසා ශරීරයෙන් දුගඳක් හමන්න පුළුවන්.

     යෝජනාවක්: නිතරම නානවා නම් ඔයාගේ සිරුරෙන් දුගඳ හමන එක අඩු කරගන්න පුළුවන්. ඩියෝඩ්‍රන්ට් හරි දාඩිය දාන එක අඩු කරන ආලේපන හරි පාවිච්චි කරන්න පුළුවන්.

  •   හමේ තෙල් නිපදවන ග්‍රන්ථිවලට බැක්ටීරියා එකතු වෙන නිසා ඔයාගේ මුහුණේ ලප හා කුරුලෑ හටගන්න පුළුවන්.

     යෝජනාවක්: කුරුලෑ එන එක වළක්වන්න ලේසි නැහැ. ඒත් නිතරම මුහුණ හෝදනවා නම්, හම පිරිසිදු කරන ක්ලෙන්සර් එකක් පාවිච්චි කරනවා නම් කුරුලෑ එන එක අඩු කරගන්න ඔයාට පුළුවන්.

 හැඟීම්වල සිද්ධ වෙන වෙනස්කම්

 වැඩිවියට පත් වෙන කාලයේදී ඔයාගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය වැඩි වෙන නිසා ඔයාගේ හැඟීම් ඉක්මනින්ම වෙනස් වෙනවා. ඒ නිසා කිසිම හේතුවක් නැතුව ඔයාට දුකක්, තරහක්, බයක් දැනෙන්න ඉඩ තියෙනවා.

 “සමහර දවස්වල මං හොඳටම අඬනවා, ඒත් ඊළඟ දවසේ මං ඉන්නේ හරිම සතුටින්. වෙලාවකට තරහා යනවා. ඊළඟ මොහොතේ හරිම දුකෙන් කාමරේට වෙලා ඉන්නවා.”ඔක්සානා.

 වැඩිවියට පත් වෙන අවධියේ ඉන්න අයට හැඟෙන්නේ අනිත් අය නිතරම එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලයි. ඒ නිසා එයාලා තමන්ගේ පෙනුම ගැනත් හුඟක් සැලකිලිමත්.

 “ඇඟේ වෙනස්කම් වෙන්නේ ඇයි කියලා මං දැනගෙන හිටියත් මට ඕන වුණේ ඒක අනිත් අයගෙන් හංගන්න. ඒ නිසා මං ඇඟ වැහෙන විදිහට ලොකු ඇඳුම් ඇන්දා. මට හරිම අපහසුවක් දැනුණේ. ඒක ලේසි නැහැ.”ජැනිස්.

 මේ කාලෙදී ඔයාට විරුද්ධ ලිංගයේ අය ගැන ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක තමයි ඔයාගේ හැඟීම්වල ඇති වෙන ලොකුම වෙනස.

 “මං කලින් හිතාගෙන හිටියේ හැම කොල්ලෙක්ම මහ වදයක් කියලා. ඒත් කොච්චර ලස්සන කොල්ලෝ ඉන්නවද කියලා මට දැන් හිතෙනවා. එයාලා එක්ක යාළු වෙලා බලන්නත් මට හිතිලා තියෙනවා. දැන් අපි නිතරම වගේ කතා වෙන්නේ ‘අරයා මෙයාට කැමතියි, මෙයා අරයාට කැමතියි’ කියන එක ගැන.”ඇලෙක්සිස්.

 වැඩිවියට පත් වෙන වයසේ ඉන්න සමහර යෞවනයන්ට සමලිංගික හැඟීම් ඇති වෙන්න පුළුවන්. ඔයාටත් එහෙම වුණා නම් ඔයා සමලිංගිකයෙක් කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා. කාලයත් එක්ක ඒ හැඟීම් නැති වෙලා යයි.

 “නිතරම වගේ මං මාව අනිත් කොල්ලෝ එක්ක සන්සන්දනය කළා. ඒ නිසා මගේ හිතේ එයාලා ගැන ආකර්ෂණයක් ඇති වුණා. ඒත් කාලයක් යද්දී ඒ හැඟීම් නැතුව ගිහින් සාමාන්‍ය විදිහට මාත් ගැහැනු ළමයි ගැන හිතන්න පටන්ගත්තා. දැන් මගේ හිතේ සමලිංගික හැඟීම් ඇති වෙන්නේ නැහැ.”ඇලන්.

 ඔයාට කරන්න පුළුවන් දේ

  •    වැඩිවියට පත් වෙන එක සහ ඒ නිසා ඇති වන වෙනස්කම් ඔයාගේ ශරීරයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා ඒ වෙනස්කම් දිහා හොඳ විදිහට බලන්න. එහෙම කරන්න බයිබලය ලියපු කෙනෙක් වන දාවිත් කියපු දේ ඔයාට උදව් වෙයි. ඔහු දෙවියන්ට කිව්වේ “ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද” කියලයි.—ගීතාවලිය 139:14.

  •   අනිත් අයත් එක්ක ඔයාව සන්සන්දනය කරන්න එපා. ඔයාගේ පෙනුම ගැන ඕනෑවට වඩා හිතන්නත් එපා. මොකද බයිබලයේ කියන්නේ “මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය. නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි” කියලයි.—1 සාමුවෙල් 16:7.

  •   ව්‍යායාම කරන එක වගේම හොඳ විවේකයක් ගන්න එකත් වැදගත්. ප්‍රමාණවත් වෙලාවක් නිදාගන්නවා නම් ඔයාට කේන්ති යන එක, පීඩනයක් සහ කලකිරීමක් දැනෙන එක අඩු කරගන්න පුළුවන්.

  •   හැමෝම බලාගෙන ඉන්නේ ඔයා දිහාමයි කියලා හිතන්න එපා. සමහර අය ඔයාගේ පෙනුම ගැන නැත්නම් ඔයාගේ ඇඟ වෙනස් වෙලා තියෙන විදිහ ගැන කියලා හිත රිද්දුවොත් ඒ ගැන දුක් වෙන්නත් එපා. මොකද බයිබලයේ කියන්නේ “මිනිසුන් කියන සෑම දෙයක්ම සිතට නොගන්න” කියලයි.—දේශනාකාරයා 7:21.

  •   ලිංගික හැඟීම් ඇති වෙද්දී ඒවා පාලනය කරගන්න ඉගෙනගන්න. ඒ ආසාවන් ඉටු කරගන්න උත්සාහ කරන්න එපා. බයිබලයේ මෙහෙම කියනවා. ‘වේශ්‍යාකම වෙතින් පලා දුවන්න. එසේ කරන තැනැත්තා තම ශරීරයට විරුද්ධව පව් කරයි.’—1 කොරින්ති 6:18.

  •   ඔයාට හැඟෙන දේ අම්මාට හරි තාත්තාට හරි කියන්න. එහෙම නැත්නම් ඔයාට කිට්ටු වැඩිහිටියෙක්ට කියන්න. ඇත්ත, එහෙම කරන එක ලේසි නැහැ. ඒත් එයාලා කියන දේවල් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.—හිතෝපදේශ 17:17.

 මේක මතක තියාගන්න: වැඩිවියට පත් වෙද්දී සිද්ධ වෙන වෙනස්කම්වලට මුහුණ දෙන එක ඔයාට ලේසි වෙන එකක් නැහැ. ඒත් ඒ කාලෙදී තමයි ඔයාගේ ශරීරය වැඩිලා ඔයා වැඩිහිටියෙක් වෙන්න සූදානම් වෙන්නේ. ඒ වෙනස්කම් වෙන්නේ ශරීරයේ විතරක් නෙමෙයි. ඔයාගේ මනසේ සහ හැඟීම්වලත් වෙනස්කම් වෙනවා. ඒ හැම දේටම වඩා දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්නත් හොඳම කාලය ඒකයි.—1 සාමුවෙල් 2:26.